Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Friday, 05 July 2013 04:38

නවකතාවට ලිංගිකත්වය අකැප ද

Rate this item
(0 votes)
නවකතාවට ලිංගිකත්වය අකැප ද

ලක්බිම තඹරවිල සාහිත්‍ය අතිරේකය යටතේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයනංශයේ මහාචාර්ය අජන්තා හපුආරච්චි විසින් ලියන ලද 'නූතන නවකතාව හා ලිංගික වලිප්පුව‘ නමැති ලිපිය කාලෝචිතවූවකි.

නවකතාවෙන් ලිංගිකත්වය මතුවන ආකාරය අජන්තා හපුආරච්චි පෙන්වා දී ඇත. ඇයට විෂය වී ඇත්තේ අත අත නෑර, පරඬැල්, නයිගලින් උපන් පුත්‍රයෝ, මාගම් සෝලිය, කන්දක් සේමා,පිරිමි ගොඩයි, සෙංකොට්ටං වැනි නවකතාය.

නවකතා නිර්මාණයේ දී අසවල් නීතියක් , රීතියක් , සම්ප්‍රදායක්,තේමාවක්,සන්දර්භයක් නොමැත. එය තීරණය කරන්නේ නවකතාකාරයාය. නවකතාකාරයා ලබන පරිචය මත ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන නවකතා සමාජයට දායාද කරයි.

නවකතාකාරයා සමාජයෙන් ලබන පරිචය , ප්‍රාගුණ්‍ය මත පිහිටා නවකතාව ගොඩ නගන්නේ යථාර්ථය හෙළි කිරීමටය. නවකතාකාරයාට අවවාද අනුශාසනා දෙන්නට අවශ්‍යතාවක් නැත. ඔහු කියන්නේ යථාර්ථය(Reality) හෙළි කිරීමය. මෙය සමාජ සත්ථා යථාර්ථය (Social Reality)ලෙස මාර්ටින් වික්‍රමසිංහ හඳුන්වයි.

යථාර්ථය හෙළි කරන නවකතා අද්‍යතන සමාජයේ බිහිවන්නේ ද? නවකතා අප්‍රමාණ අයුරින් බිහිවෙතත් යථාර්ථය හෙළි වන නවකතා බිහි වී ඇත්තේ අල්ප වශයෙනි. ලිංගිකත්වය නැත්නම් මහාචාර්ය අජන්තා හපුආරච්චි පවසන අන්දමට ලිංගික වලිප්පුව අපට මුලින් හඳුන්වා දුන්නේ ගුණදාස අමරසේකය. අජන්තා ට ගුණදාස අමරසේකර අමතක වීම පුදුමයට කරුණකි.'යළි උපන්නෙමි’ නමැති නවකතාව ලියා පුතාට මව ළිඳ ළඟ නානවිට ඇතිවන ලිංගික හැඟීම් පිළිබඳ නවකතාවකින් ජනිත කළේ අමරසේකරය. මේ වලිප්පු ව අපට මුලින්ම හඳුන්වාදුන්නේ,බෝ කෙළේ අමරසේකරය.

සිංහල සංස්කෘතිය නොදැන,එහි පවත්නා සැබෑ තත්ත්වය මැනවින් අවබෝධ කොට නොගෙන බෞද්ධ සංස්කෘතිය මගින් ජනතාව හික්මවා ඇත යන ස්වරූපය තේරුම් නොගෙන මවගේ නිරුවත දැකීමෙන් පුතාට ලිංගිකත්වයක් මෙබඳු බෞද්ධ සමාජයක මතුවේද?

මව ස්නානය කරන විට දිය රෙද්දෙන් මතුවන ඇයගේ හෙළුව දැක පුතාට ලිංගික හැඟීම් දනවන ආකාරය අපට කියා පෑ අමරසේකර ගැන හපුආරච්චි පවසන්නේ කුමක්ද? ප්‍රංසයේ'අන්දෝ ජින්ගේ’ නවකතාවක් ආශ්‍රයෙන් අමරසේකර ලියූ'යළි උපන්නෙමි’ කාමුක, ලිංගික වලිප්පුව නමැති නවකතාව මෙරට සංස්කෘතියට අනුචිත නවකතාවක් ලෙස මුලින්ම හඳුන්වා දුන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ය.වික්‍රමසිංහගේ මේ අර්ථකථනය පසුව අමරසේකර හිස් මුදුනින් පිළිගත්තේය.

පසුකාලීනව යථාර්ථය තේරුම් නොගත් සමූහයක් අමරසේකර සිටි වේදිකාවකදී'යළි උපන්නෙමි’ නමැති සුජාත දරුවා යළි මුද්‍රණය කළ යුතු යයි කිසිදු ලැජ්ජාවක් නැතිව පැවසීම අතිශය ඛේදයකි. ඩී.එම්. ලෝරන්ස් ස්වකීය Lady chatarly’s Lover (චැටර්ලි ආර්යාවගේ පෙම්වතා)නමැති නවකතාව නවකතා ක්ෂේත්‍රයේ නව නැමියාවකි.වික්ටෝරියානු යුගයේ සුචරිතවාදය මහ ඉහළින් අගය කළ නිසා එම කෘතිය සුචරිතවාදයට ඉඳුරාම පටහැනිය යන මතයක් ඇතිවීම හේතුකොටගෙන ලෝරන්ස් මිය ගියාට පසු වසර 30 කට පමණ පසුව අධිකරණයට පවා යන්නට සිදුවිය.සාහිත්‍ය පිළිබඳ පුළුල් අවබෝධයක් ලත් නීතිඥවරුන්ගේ තර්ක විතර්ක මධ්‍යයේ එය ලිංගිකත්වයට යට වූ නවකතාවක් කොට යථාර්ථය හෙළි කරන නවකතාවක් බව පෙන්වා දීම මත අධිකරණය'චැටර්ලි ආර්යාවගේ පෙම්වතා’ නමැති නවකතාව තහනමෙන් ඉවත්විය.

චැටර්ලි ආර්යාව උයන්පල්ලා සමග සංසර්ගයේ යෙදෙන අවස්ථාවේ දී ඇතිවන හැඟීම් ඒ ආකාරයෙන්ම ලෝරන්ස් ස්වකීය නවකතාවෙන් හෙළි කෙළේය. ආර්යාවගේ පෙම්වතාගේ හැගීම් වල උත්තේජනීයභාවය ස්වාභාවික සංසිද්ධියකි.ආර්යාවගේ සැමියා ලිංගිකත්වයෙන් දුර්වල වීම අනුව චැටර්ලි අතිශය මානසිකත්වයෙන් පෙළීම මත උයන්පල්ලා සමග සයනෙහි පිහිටීම, යෙදීම මානුෂික ස්වරූපයකි. නවකතාකාරයාගේ යථාර්ථය එයයි.
ලිංගිකත්වය වලිප්පුවක් බවට පත් කරගන්නේ නැතිව ශිෂ්ට සම්පන්න ආකාරයෙන් හෙළිකිරීම සැබෑ නවකතාකාරයාගේ කාර්යයි. ලෝනේස් අතින් සිදුවූයේත් එයමය.

ප්‍රංශයේ ශ්‍රේෂ්ඨ ගණයට ගැනෙන නවකතාකාරයෙක් වූ ගස්ටට් ෆොලොබෙයා මැඩම් බොවාරි නවකතාව ලියන්නට හේතු පැන වූයේ ඔහුගේ සමාජ පසුබිමයි.

ගස්ටට් ෆොලොබෙයාගේ පියා වෛද්‍යවරයෙකි.ෆොලොබෙයා පුංචි අවධියේ නිවසේ අසලින් තිබුණු මිදි වැලක එල්ලී සෙල්ලම් කිරීමේදී නිවෙස අසල රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ නිරුවත් ගැහැනු පිරිමි අයගේ මළ සිරුරු දැකීමෙන් ලත් කම්පනය හේතුකොටගෙනයි "මැඩම් බොවාරි” නවකතාව ලියන්නට හේතුභූත වූයේ.නොබෙල් ත්‍යාගයෙන් පවා මේ නවකතාව පුදනු ලැබුවේ එහි පවත්නා යථාර්ථවාදී රීතිය හේතුකොටගෙනය.

ලිංගිකත්වය සමාජ ස්වභාවික සාධකයකි. ලිංගිකත්වය නැතිව සමාජයත්,ලෝකයත් නොමැත. ලෝකයේ පවතින්නේ ලිංගිකත්වය මතය. නවකතාකරුවා මේ ලිංගිකත්වය හුවාදැක්වීමේදී අන්තවාදිනොවී අතිධාවනකාරී නොවී එය ශිෂ්ට සම්පන්නව කාටත් කියවා රස විඳිය හැකි ආකාරයෙන් හුවාදැක්විය යුතුය.
මෙතනදී සුමිත්‍රා රාහුබද්ධ "කන්දක් සේමා, "අත අත නෑර” නවකතාවලින් හුවාදක්වා ඇත්තේ සුචරිතවාදී ලිංගිකත්වයක් විනා එය අතිධාවනකාරී ස්වරූපයකට නොගිය අන්තවාදී නියරකට කේන්ද්‍රනොවී නවකතාකාරියගේ කාර්යය මනා ලෙස ඉටුකොට ඇත.

ඇත්ත ඇති සැටියෙන් පෙන්වාදීම සැබෑ නවකතාකාරයාගේ හෝ නවකතාකාරියගේ කාර්යභාරය නම් "ගොගල්” ස්වකීය නවකතා මගින් නිරූපණය කෙළෙත් මෙයමය. ගොගල්ගේ නවකතා පරිශීලනය කළ අය ගොගල්ගේ නිවස අසලට පැමිණ බැණ වැදුණේ යථාර්ථය හෙළිකිරීම මතය.මගේ චරිතය ඔබගේ නවකතාවෙන් කියා පා ඇතැයි පැවැසීම මත ගොගල් සිනහ මුසු මුහුණෙන් ඒ සියල්ල බැහැර කෙළේ යථාර්ථය එයවන බැවිනි.

ලිංගිකත්වය වලිප්පුවක් බවට පත්නොකර එය අනුවේදනීය තත්ත්වයෙන් හුවා දැක්විය යුතුය.නවකතාකාරයාගේ කාර්යය වන්නේ නවතාවයෙන් උපයුකත්ව ස්වකීය කාර්යය ඉටුකිරීමය.

මහාචාර්ය අජන්තා හපුආරච්චි ස්වකීය ලිපිය ආරම්භ කරන්නේ මිනිසා තුළ නොහික්මුණු.....” යනුවෙනි.භාෂාවේ තුළ -තුළින්- තුළට තුළෙහි වදනක් නොමැත. එය කරණාර්ථය අසම්භාව්‍ය හා ආයෝග්‍ය වදනකි.
මිනිසාට මිනිසා කෙරෙහි ආදි වශයෙන් ඇරැඹුවා නම් නිදොස් වහර යැයි සිතමි.

නවකතාකාරයා අනුභූති න්, නැතිනම් අත්දැකීම් එසේත් නොවන්නේ නම් සිද්ධි, නැතිනම් ධාරණා සමුදායක් විෂය කරගනී.මේ ධාරණා සමුදාය තෝරා බේරාගෙන පෙළ ගැස්වීම සැබෑ නවකතාකාරයාගේ කාර්ය විය යුතුය.

නවකතා මගින් ලිංගිකත්වය මතුකිරීමට අජන්තා උරණවිය යුතු නැත. ශිෂ්ට අශිෂ්ට වශයෙන් ප්‍රභේදයකි. එම ලිංගිකත්වය ශිෂ්ට ස්වරූපයෙන් කියාපෑමේ වරදක් නොමැත. අමරසේකර මෙන් අශිෂ්ට ආකාරයෙන් සිංහල සංස්කෘතිය නොහඳුනාගෙන,බෞද්ධ සමාජය තේරුම් නොගෙන ප්‍රංශ සමාජය ශ්‍රී ලංකාවට ආරෝපණය කරන්න යෑම බරපතළ වරදකි.

මෙරට කාම කතා බිහිවීම අවසන් වූයේ මාර්ටින් වික්‍රමසිංහගේ"සිංහල නවකතාව හා ජපන් කාම කතා හෙවණැල්ල” බිහිවීමෙන් අනතුරුවය. මහාමාර්ග සිරිගුණසිංහගේ ගැහැනියක්, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ 'බන්දුල පරාවර්තනය’ නමැති නවකතා මගින්ද හෙළි කළේත් ලිංගිකත්වයයි. බෞද්ධ සමාජය කුමක්ද යන්න යථාවබෝධයකින් තොරව නිර්මිත මෙබඳු නවකතා හේතුවෙන් පසුකාලීන නවකතා මගින්ද ලිංගිකත්වය වලිප්පුව මතුවිය.

මවුපියන් හා දරුවන් සමග එකට එක්වී පරිශීලනය කළ හැකි ලිංගිකත්වයක් නවකතාවෙන් මතුවීම වරදක් නැත.සමාජයේ සිදුවන ස්වභාවික ගති ලක්ෂණ නවකතාකාරයා හෝ නවකතාකාරිය හෙළිකිරීම කාර්යයි. ලිංගිංකත්වය වලිප්පුවක් බවට පෙරළා නොගෙන යථාවාදී තථාකාරී අයුරින් හුවා දැක්වීමේ වරදක් නැත.වර්ජිනියා වුල්ෆ් සෞන්දර්යාත්මක (Romantisam) ස්වරූපයෙන් නවකතා නිර්මාණය කළේ සෞන්දර්යයෙන් ලිංගිකත්වය හෙළිකිරීමටය. ඇයගේ The Light House නමැති නවකතාව මගින් හෙළි කළේ සෞන්දර්යයි. ලොවට සෞන්දර්යාත්මක නවකතා සන්දර්භය හෙළි කළ ප්‍රථම නවකතාකාරියත් ඇයයි.
සෞන්දර්යාත්මක ස්වරූපයෙන් උපයුක්තව නවකතාව මගින් ලිංගිකත්වය ආරෝපණය කිරීමේ වරදක් නොමැත. එසේ නොමැතිව ප්‍රංශ සභ්‍යත්වය නැතිනම් ලිංගික හැසිරීම් මත ගොඩනැගුණු ප්‍රංශ නවකතා ආශ්‍රයෙන් ගුණදාස අමරසේකර සිදුකළ සමාජ වින්නැහියකට යළි නැඹුරු නොවිය යුතුය යන්න මගේ හැඟීමයි.

තේජනි අබේවික්‍රම - උපුටාගැනීම ලක්බිම පුවත්පතිනි

 

Read 354 times
Body
Background Color
Text Color
Background Image