Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Wednesday, 19 June 2013 08:52

"මානවසිංහ" ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳපු කෙනෙක්

Rate this item
(0 votes)
"මානවසිංහ" ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳපු කෙනෙක්

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝ සිංහල ගීත සාහිත්‍ය වංශයෙහි ප්‍රබල සන්ධිස්ථානයක් සනිටුහන් කරත්. අද්‍යතන සිංහල ගීතයෙහි පද රචනයට හිමි තැන තිරසර ව හා නිවැරදි ව පිහිටුවීමේ ගෞරවය හිමි වන්නේ ද මානවසිංහයන්ට ය. සිංහල ගීත ක්‍ෂේත්‍රයෙහි තිබූ බාධක,නොතකා හැරීම් ඛණ්ඩනය කරමින් අපමණ සෞන්දර්යවාදී ව හේ ගීත හා නිරත විය.

ඊට හාත්පසින් ම වෙනස් භූමිකාවක පුවත්පත් කලාවේදියකු වශයෙන් නිරත වූ මානවසිංහයන්, පොදු ජන ගැටලු කරළියට ගෙන ඒමට 'වගතුග‘ තීරු ලිපිය ඔස්සේ ගත් වෙහෙස තීරු ලිපි ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන්නකි.

මානවසිංහයන්ගේ යුගකාරක මෙහෙය පිළිබඳවත් ඔහුගේ සුවිශේෂී නිර්මාණකරණ රීති පිළිබඳවත් නොමසුරු ව නොපැකිළ ව විග්‍රහ කරන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තැනූ මේ විදග්ධ වේදිකාව ආභරණයකි.'මානවසිංහ ගීත නිබන්ධ’ නම් කෘතිය ද රචනා කළ සුනිලුන් මේ යුග කාරක පුරුෂයා පිළිබඳ විග්‍රහ කරන්නට අත්‍යන්තයෙන් ම සුදුස්සා බව මේ සංලාපයෙන් මනාව පෙන්නුම් කෙරේ.

මානවසිංහ විමසුම

ඉතිහාසයේ සුවිසෙස් ලකුණු තැබූ නිර්මාණකරුවන් අතර ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් වඩාත් සුවිශේෂී වන්නේ කවර කරුණක් සම්බන්ධයෙන් ද?
සිංහල ගීතය කියන විෂයය මානවසිංහ ක්‍ෂේත්‍රයට එනතුරු අප්‍රබුද්ධ කලාවක් හැටියටයි සැලකුණේ. ගීත රචකයා කියන චරිතය බිහිවෙන්නේ ග්‍රැමෆෝන් ගී යුගයෙන්. ඊට කලින් හිටියේ නාඩගම්, නුර්ති, ටීටර් වල කර්තෘවරු පමණයි.නාට්‍යවල පමණයි ගීත තිබුණේ. ඒ ගීත ලියුවේ නාට්‍යකරුවන් විසින් ම යි.ගීත රචකයා කියලා වෙන ම චරිතයක් හිටියේ නැහැ.නාඩගම් කර්තෘවරුන්ට ඒ කාලෙ කිව්වෙ සින්දු කාරයෝ කියලයි.නාඩගමක තිබුණා සින්දු සිය ගණනක්.

සින්දු ලියන්න බැරි කෙනකුට නාඩගම් ලියන්න බැහැ. ඒක ම තමයි නුර්ති ඉතිහාසෙත් කතාව.සින්දු ලියන්න බැරිනම් නුර්ති ලියන්න බැහැ. එතකොට නාට්‍ය කර්තෘවරයා ම තමයි ගීත රචකයා බවටත් පත්වෙන්නේ.පළමුවෙනි වතාවට 1906 සිංහල ගීත ග්‍රැමෆෝන් තැටියට නැඟන්න පටන්ගත්තට පස්සෙ ගීත රචකයා කියලා වෙන ම පුද්ගලයෙක් බිහිවෙනවා. ගායකයා සහ සංගීතඥයා හැරුණා ම වෙන ම පිරිසක් බිහිවෙනවා ගීත රචකයන් හැටියට, ඒ නාට්‍ය කර්තෘවරු හැටියට නොවෙයි.

එහෙත් ඉතිහාසයේ ඔබ සඳහන් කරන කාලවකවානුවේදී ගීත රචකයන් ගැන සඳහනක් නැහැ නොවේද?
ගීත රචකයන් බිහිවුණාට මේ අය ව කවුරුවත් ගණන් ගත්තේ නැහැ. අඩුම තරමේ ග්‍රැමෆෝන් තැටියක නම සඳහන් කරන්න තරම්වත් උනන්දුවක් තිබිලා නැහැ. ගායකයාගේ නම තියෙනවා,සංගීතඥයාගේ නම තියෙනවා, නමුත් ගීත රචකයාගේ නම නැහැ.ඉඳලා හිටලා තමයි නම තිබුණේ. ගීත රචකයා කියන පුද්ගලයා ඉස්මතු වීමක් සිදුවන්නේ නැහැ. ඒකයි ගීත රචකයා කියන චරිතය මේ වකවානුවේ කතාබහට ලක්වෙන චරිතයක් නොවෙන්නේ.

කොළඹ යුගයේ මුල් පරම්පරාවේ ප්‍රතිභා සම්පන්න කවීන් කිසි ම කෙනෙක් ගීත රචනයට යොමු නොවීමට බලපෑ හේතු කවරේද?
මේ අය කිසි කෙනෙක් ගීත කලාව පිළිබඳ කිසි ම උනන්දුවක් දැක්වූයේ නැහැ. මේ පැරණි සම්භාවනීය පිරිස සිව්පදයෙන් කවි නිර්මාණය කරගෙන ඉන්න අතරේ ගීත කලාවට යොමු වුණේ වෙන ම පිරිසක්. එයින් සියයට 95ක් කවි පෙළක්වත් ලියපු අය නොවෙයි. ඒ අය වෙන ම පරම්පරාවක් බිහිවුණා.නමුත් ඒ අය පිළිබඳ කිසි ම විස්තරයක් පුවත්පතකවත් පළ වුණේ නැහැ.නවසිය පනස් ගණන්වල ගීත රචනා කලාවට දැඩි ප්‍රහාරයක් එල්ල කරනවා.රැපියෙල් තෙන්නකෝන්,මාර්ටින් වික්‍රමසිංහ වගේ අය.

මාර්ටින් වික්‍රමසිංහයන් කියනවා "මධුර” ව්‍රතයෙන් යුක්ත වූවත් ගීතය ගැඹුරු අරුත්වලට උචිත යානයක් නොවේ” කියලා. රැපියල් තෙන්නකෝනුන්ගේ, 'වවුලුව' හැඳින්වීමේ සඳහන් වෙනවා "ගැයුමේදි හඬෙහි, තාලයෙහි මිහිර මිසැ අරුතෙක හෝ වහර ඇසිරි බැවෙක හෝ රසක් සැලැකෙන්නේ නැති....” එ මිහිර ගයන්නා ගේ හඬත් තාලයත් අනුවැ මිසැ පබඳකරු ගේ සමත්කම පිට පවත්නේ නොවේ”

සම්භාව්‍ය ගණයේ ලේඛකයෝ ගීතය දිහා බැලුවේ මේ විදියට.මෙන්න මේ වගේ වාතාවරණයක් මත තමයි මාර්ටින් වික්‍රමසිංහලා ,රැයිපියෙල් තෙන්නකෝන්ලා, ආනන්ද රාජකරුණලා,ජී.එච්.පෙරේරාලාගේ පරම්පරාවෙ ම අනුප්‍රාප්තිකයෙක් වෙන චන්ද්‍රරත්න මානවසිංහ ගීත කලාවට යොමු වෙන්නේ.

මානවසිංහයන් කොළඹ යුගයේ දෙවැනි පරම්පරාවට අයත් වුණේ. ඔහුට පෙර කී බාධක පුවත්පත් කලාවේදියකු වීම නිසා යම් තරමකින් මඟහැරී ගියේද?
ඔහු ඒ වන විට නමක් දිනූ පුවත්පත් කලාවේදියෙක්.ගීතයක් ලියන්න ඔහු වැනි කෙනෙක් ඒ කාලේ පෙලඹීමත් පුදුමයක්.ඔහුගේ පරම්පරාවේ කවීන් පවා ගීත කලාවට ප්‍රවිශ්ට වුණේ නැහැ. සාගර පලන්සූරියවත්, පී.බී.අල්විස් පෙරේරාවත්, මීමන පේ‍්‍රමතිලක ත්, එච්.එම්.කුඩලිගමවත් ගීතයක් ලියන්න උනන්දු වුණේ නැහැ. ගීතය ඒ වෙනකොට ජනප්‍රිය මායාවක් වෙලා තිබුණේ.පළමු පරම්පරාව වගේ ම දෙවැනි පරම්පරාවත් එහෙ ම ගීත ලියන්න පෙලඹවීමක් දක්වා නැහැ.ඒ අය අතරින් මානවසිංහ විතරක් ගීත ලියන්න පෙලඹෙනවා.

මානවසිංහයන් ගීතයට වෙන ම අරුතක් සම්පාදනය කළා නොවේද?
මානවසිංහයන් ගීතය,සංගීතය ආලේප කළ සාහිත්‍ය රචනයක් බවට පත්කිරීම සඳහා තමන්ගේ ගීත කලාව මෙහෙයවූවා. එහෙම නැත්නම් එතෙක් කල් ගීතයේ නාද මාලාවට පමණක් කන් දුන් රසිකයන් ගීතයේ පද මාලාව කෙරෙහිත් ආකර්ෂණය කරන්න ඔහු සමත් වූවා.ඒ සඳහා ඔහු මධුර ගී තනු රැසක් රසිකයන් වෙත දායාද කළා. ඒ වගේ ම ප්‍රසිද්ධ දේශන හා සාහිත්‍ය ලිපි මඟින් තනුවට පමණක් නැඹුරු වූ ගීත කලාව ප්‍රතික්ෂේප කරනු ලැබුවා.ඒ කාලේ ගීත රචනා කිරීම කියලා හැඳින්වූයේ හින්දි හෝ දෙමළ ගීතව, වචනවලට සිංහල වචන යෙදීම.මානවසිංහ මෙය තරයේ ප්‍රතික්ෂේප කරනවා. ග්‍රැමෆෝන් හා නුර්ති යුගවලදී මුළුමනින් ම වාගේ ගී තනුවලට වචන දැමූ යුග. මේකට එරෙහි ව ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, අමරදේව වගේ අය නැඟී සිටියා. මානවසිංහයන් මේ අතර ප්‍රධානයි.

මානවසිංහයන්ගේ'කෝමල රේඛා’ කෘතියේ පෙරවදනේ මේ ප්‍රතික්ෂේප කිරීම පැහැදිලි ව දක්වා තිබෙනවා නොවේ ද?
තමන්ගේ වටේ රැව් පිළිරැව් දුන් බොළඳ ගීත කලාව මානවසිංහ මුළුමනින්ම ප්‍රතික්ෂේප කළා.'කෝමල රේඛා’ හි මේ ප්‍රකාශය ඊට කදිම නිදසුනක්.

”සෞම්‍ය,කාන්ති, චන්ද්‍ර, අම්බරේ,රමණී, ශ්‍රියා,සෝබන, ප්‍රේම,සුන්දර,රම්‍යා යන වචන ඒ මේ අත මාරු කළ පමණින් වේදයිතයක් නොලැබේ.සෞම්‍යා, කාන්ති වැනි වචනවල ඇත්තේ සරුවපිත්තල වැනි දිස්නයක් පමණි. රට පිත්තල භාණ්ඩයන්ගේ කන්දොස්කිරියා හඬට මේ සරුවපිත්තල වචන ටික එකතු කිරීම නිසා හේන්වල සතුන් එළවීම පිණිස බඳින ටකයේ ගණයට සිංහල සංගීතය පිරිහී ගියේය.ටකයේ හඬ වුවමනා කරන්නේ කුරුල්ලන් එළවීමටය.සංගීතය මිනිසුන්ට වුවමනා වනුයේ මඟුල් ගෙවල ශබ්ද විකාශන මඟින් හඬ තැළීම පිණිස ය. .... පූර්ණවර්ධන සිටාණෝ යනුවෙන් කාගෙදෝ නම් ගම් කිය කියා හඬතැළීමෙන් කිසියම් වින්දනයක් ඇතිවෙයිද? සුසුදු පෙමේ....මගෙ කුසුමේ.... අනේ සුදෝ යන විදියේ වචන පන්දාහක් යෙදුවත් ඇයි ද මා හැර ගියේ......., කෙලෙසද මා ඉවසා ඉන්නේ යනාදී දුක් අ‍ෙඳා්නා සිය ගණනක් යෙදුවත් ප්‍රේමයක් ඇති වෙයිද? පෙම් හැඟුමන් ඇතිවීමට නම් එයට වුවමනා කරුණුවලින් සිතට විඳීමක් ඇති කළ යුතුය.ඔබේ පා ළඟ ඇදවැටෙමි,නිවන් දකිනතුරු වඳිමි, නියරැස් ගඟුලේ ගිලෙමි, මම ඔබට ගැතිවෙමිග, මේ අසරණයාගේ වැඳුම් පිළිගනු මැනව, ඔබ නැත්නම් මා අසරණයෙකි යනාදී වශයෙන් අවුරුදු ගණන් කීවත් භක්තියක් ඇතිවෙයිද?

ඔහු ගීත රචනා කලාවට එළඹුණේ ග්‍රැමෆෝන් යුගයේදීයි. එතකොට අපිට පේනවා කිසිම කවියකු අත නොතියපු ග්‍රැමෆෝන් ගීත කලාවට ඔහු එළඹෙනවා. එතැනදි ඔහුට සිද්ධවෙන්නේ අනිත් අයට සිද්ධවුණු දේමයි. මේ කවීන් සමහර විට ඒ කාර්යය සඳහා යොමු නොවන්නෙ පොදුවේ මෙන්න මේ කරුණ නිසයි. මුලින් කිව්වා වගේ හින්දි හා දෙමළ තනුවලට පද දැමීම වගේ දේකට සම්භාව්‍ය කවීන් කැමති වෙන්නේ නැහැනේ.

මම හිතනවා කොළඹ යුගයේ අපේ කවීන් ගීත කලාව ප්‍රතික්ෂේප කළේ මේ කාරණය නිසයි. ඒ කාර්යයට තියෙන නොකැමැත්ත,අමනාපකම නිසා ඔවුන් ගීත රචනා කලාවට නොඑළඹුණා කියලා අපට උපකල්පනයකට එන්න පුළුවන්.

මානවසිංහයනුත් මුල් කාලයේ තනුවට පද නිර්මාණය කළා?
ඔව්.ඔහු මුලින් එහෙ ම කළා. ඔහුට සිද්ධ වුණා තමන්ගේ ගීත කලාව ගී තනුවලට වචන දමමින් ආරම්භ කරන්න. රුක්මණී දේවි ගායනා කළ 'දල්වව් බැති ආදර පෙම්'වැනි ගීත මේවාට උදාහරණ.කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ගීත කලාවට තිබුණ උනන්දුව නිසා මේ වචන දැමීමේ කටයුත්තට පෙලඹිච්ච ප්‍රථම කවියා කිව්වොත් හරියට ම හරි.

මානවසිංහයන් ගුරුකොට සලකන ආනන්ද සමරකෝනුන් අප කවියාගේ නිර්මාණ ජීවිතයට මොනවගේ බලපෑමක් ද කළේ?
තමන්ට ගීත ලියන්න උනන්දුවක් ඇතිවුණේ ආනන්ද සමරකෝනුන් නිසා බව'වගතුග‘ තීරුවට සමරකෝනුන්ගේ අභාවය නිමිතොට ගෙන ලියූ සටහනේ දැක්වෙනවා.එයට හේතුසාධක තියෙනවා.අපේ ස්වතන්ත්‍ර ගීත කලාවේ ආරම්භකයා ආනන්ද සමරකෝන්. ඔහු ගීත කලාවට එළැඹෙන තුරු දිගෙන් දිගට ම තිබුණේ හින්දි හා දෙමළ ගී තනු කොපි කිරීමයි. ඔහු මුල් වතාවට ස්වතන්ත්‍ර ගී තනු හැදුවා. ඒ තනු සමඟ ඔහුගේ පදමාලා බිහිවුණා. පදමාලාවයි,තනුවයි, එකටමයි ලියවුණේ. එතකොට අනිවාර්යයෙන් ඔහුගේ ගීතවල පදමාලාවන්හි තියෙන මිහිරියාව මානවසිංහයන් මත්වීම පුදුමයක් නොවෙයි.මානවසිංහගේ'ගුරුගෙදර යන අතරමඟ’ කවිය ගන්න.

අකුරට යනවා කියලා
ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට
ගිහින් කියන්නම්....
ගිහින් කියලා
මේ බැද්දෙදි අල්ලල දෙන්නම්......

වගේ ගැමි ආරේ පදමාලා දැක්කම අපට පැහැදිලි ව පෙනෙනවා ආනන්ද සමරකෝන්ගේ පදමාලාවලින් ලැබූ ආභාසයග ආනන්ද සමරකෝන්ගේ ගීවලින් සියයට 90ක් ම මේ ගැමි ගීයෙන් පෝෂණය වෙලා තියෙන්නේ. එතකොට ඒක තමයි මානවසිංහයන් ගේ ආවේශය.

ආනන්ද සමරකෝන්ගේ ආගමනයෙනුත් ගීත පද රචකයා ප්‍රබුද්ධ කලාකරුවෙක්, ජනප්‍රිය කලාකරුවෙක් බවට පත්වෙන්නේ නැහැ.
ඔව්.සුනිල් සාන්තගේ, සමරකෝන්ගේ ගීත ජනප්‍රිය වුණා. ඒ වුණාට පද රචකයන් ජනප්‍රිය වුණේ නැහැ. ගීත රචකයා කියන තැනැත්තා මතුවුණේ ම නැහැ. අරිසෙන් අහුබුදුවන්ගේ ගීත සුනිල් සාන්තයන් ගායනා කළා.රැයිපියෙල් තෙන්නකෝනුන්ගේ'හැවිල්ල’ වගේ කවිත් ඔහු ගායනා කළා. හැබැයි මේවායේ රචකයෝ ජනප්‍රිය වුණේ නැහැ. මුල් වතාවට ගීත රචකයෙක් හැටියට රසිකයන් අතර ජනප්‍රිය වෙන්නේ චන්ද්‍රරත්න මානවසිංහ.

එයට හේතුව ලෙස ඔබ දකින්නේ ඔහු පුවත්පත් කලාවේදියකු ලෙස ලබා දී තිබූ ජනප්‍රියත්වය ද?
විය හැකියි.ඒ වන විට ඔහු දක්ෂ පුවත්පත්කලාවේදියකු ලෙස නමක් දිනා අවසන්.ඔහුගේ ලංකාදීපයට ලියූ'වගතුග‘ තීරු ලිපිය නිසා ජනතාව අතර ඉමහත් ප්‍රසාදයට ලක්වුණා.ජාති,ආගම්,කුල බේදයකින් තොර ව ඔහු අසාධාරණයක් නම් ඒ ගැන'වගතුග‘ තීරුවට ලියුවා.

මානවසිංහ ගීත කලාවෙදි අප්‍රමාණ සෞන්දර්යවාදියෙක්,පත්‍රකලාවේදී ජනතා ගැටලු වෙනුවෙන් පෙනී සිටින අදීන පුවත්පත් කලාවේදියෙක්. ඔහුගේ මේ කලා භාවිත දෙකේ ආඛ්‍යානය මුළුමනින් ම වෙනස්. ඒ ගැන ඔබේ අදහස?
ඔහුගේ කවිය සහ ගීතය කියලා දෙකක් නැහැ. ඔහුගේ සියලු ම ගීත කවි ඔහුගේ'කෝමල රේඛා’ පොතේ තියෙන රචනාවලින් භාගයක් විතර එක එක්කෙනා ගායනා කරලා තියෙනවා.ඔහු ලිව්වේ කවිද,ගීතද කියලා හිතන්න බැරි තරමට කවියයි ගීතයයි එකයි. කවි හෝ ගීත වේවා මේ දෙක ම සෞන්දර්යයෙන් ආඪ්‍ය වූ ඒවා.වචනයක් වචනයක් පාසා මිහිරියාව පෙරෙනවා. ඔහුගේ ජීවිතයේ ඔහු විශාල වශයෙන් අත්දැකීම් ලැබූ කෙනෙක්. ඔහුගේ ජීවිත කතාව කියවද්දී ඒක තේරෙනවා. ඔහු මහණ වෙලා ඉඳලා උපැවිදි වෙලා ආයෙත් මහණ වෙලා ආයෙත් උපැවිදි වෙලා නගර නගරවල රස්තියාදු වෙවී ඉඳලා ජීවිතයේ අනන්ත අප්‍රමාණ දුක් විඳපු කෙනෙක්. නමුත් ඒ කිසිම අත්දැකීමක් තමන්ගේ ගීතයට හෝ කවියට ගත්තේ නැහැ.

ඒ සියල්ල ම ඔහු මුදා හැරියේ පුවත්පත් කලාවේදියකු වශයෙන් ඔහු ලියූ කියූ දේවලින්.ඒ නිසා එය විශේෂ තත්ත්වයක්. ඔහුගේ ආත්මය,ඔහුගේ සැබෑ ජීවිතයල තියෙන්නේ පත්‍රකලාවේ.ඔහුගේ සිහින ලෝකය තියෙන්නේ ගීත කලාවේ.එය ඔහුගේ විශේෂ තත්ත්වයක්. ගීතයට ප්‍රශ්න ගෙනාවොත් ගීතය කිළිටි වීමට ඉඩ ඇතැයි ඔහු විශ්වාස කරන්නට ඇති.සමරකෝන්, සුනිල් සාන්ත,අමරදේව කියන ගීත කලාවේ පතාක යෝධයෝ තුන්දෙනාගෙ ම නිර්මාණ ගත්තොත් ඒවා සෞන්දර්යයෙන් ආඪ්‍ය වූ ඒවා. ඔහුට ඒ ආභාසය ලැබෙන්නට ඇති.

ඔහුගේ මනෝරම්‍ය භාෂා භාවිතය ගැන ඔබට කුමන අදහසක් ද තියෙන්නේ?
ඔහුට භාෂා භාවිතයේ ලාලිත්‍යවත් කලාවක් තිබුණා.ඊට උදාහරණයක් තමයි'අභිවන්දන ගීත’. මේ නිර්මාණවලට ඔහු දැඩි සංස්කෘත මිශ්‍ර භාෂාවක් භාවිත කළා.සමහර ඒවායේ සිංහල වචන නැති තරම්.දැන් බලන්න සරස්වතී ගීතය.

ජගන් මෝහිණී – මධුර භාෂිණී
චාරු දේහිනි – කමල වාහිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී
අමරභූෂිණී – මන්ද හාසිනී
විජය රංජණී - ශාස්ත්‍රධාරිණී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී

මේකෙ එක ම සිංහල වචනයක්වත් නැහැ.එහෙම වෙද්දි අනෙක් පැත්තෙන් ලියනවා.

අකුරට යනවයි කියලා - ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරුගෙදරට - ගිහින් කියන්නම්.....කියලා.

කථකයා අනුවයි වචන යොදන්නේ.ඔහු හිතා මතා ඒ ඒ චරිතවලට අවස්ථාවලට ගීත පද යොදනවා.

ගීතය ජනතාවගේ කලාවකට වඩා වන්දනීය තත්ත්වයකටයි ඔහු පත්කරන්නේ.
ගීතය උත්තම ගණයේ, සෞන්දර්යවාදී කලාවක් මිසක් මිනිසුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන කලාවක් විදියට ඔහු දුටුවේ නැහැ. ප්‍රශ්න කතා කරලා ගීතයේ සෞන්දර්යය කිළිටි කරන්න ඕනෙ නෑ කියලයි ඔහු හිතුවෙ.ගීතය පොදු ජන කලාවක් නමුත් ඔහු සෞන්දර්යාත්මක ව ගීත ලියලා රසිකයන්ට මිහිරක් ලබාදෙනවා.මිනිසුන්ගේ ප්‍රශ්න ලියන්න තමයි පත්තර තියෙන්නේ කියලයි ඔහු සිතන්නට ඇත්තේග අනෙක ඔහු දේශකයෙක්.

ඔහු ග්‍රන්ථකරණයට ඒ හැටි නැඹුරුවක් දැක්වූවේ නැත්තේ කුමක් නිසා යැයි කියා ඔබ සිතනවාද?
ඔහු ග්‍රන්ථකරණයට හරිම කුසීතකමක් දැක්වූවා. ඔහුගේ ජීවිත කාලය ඇතුළත ම ඔහු ලියලා තියෙන්නේ'කෝමල රේඛා’ නමැති පද්‍ය හෙවත් ගීත සංග්‍රහයත්, 'ගොළුදැරිය' නම් කෙටිකතා සංග්‍රහයත් 'හදවත් නැත්තෝ' කෙටිකතා පොතත්,'ඉහිරුණු කිරිබත’ ළමා ගී පොතත් පුස්තිකා කිහිපයකුත් පමණයි.

පොත්පත් පළ කරන්න ඔහුට කිසිම උවමනාවක් තිබිලා නැහැ.ඔහුගේ ලිපි සිය දහස් ගණන් තියෙනවා.නමුත් ඒවා ග්‍රන්ථ කළේ නැහැ.ඔහුගේ කාලයේ ඉඳපු අනෙක් අය එය කළා. එයත් ඔහුගේ චරිතයේ විශේෂ ලක්ෂණයක්.

මානවසිංහයන් ගුවන්විදුලි ගීත නාටක කලාව සිංහල ගීත සාහිත්‍යයට හඳුන්වා දෙනවා.එය නව සම්ප්‍රදායක ඇරඹුමක්.
ගීත සාහිත්‍යය දැඩි ලෙස පෝෂණය වෙන්න බලපාපු ගීත සමුච්චයක් තමයි ගුවන්විදුලි ගීත නාටක. ඒක මානවසිංහටත් හොඳ අවස්ථාවක් වුණා, තමන්ගේ සැබෑ දක්ෂකම පෙන්වන්න. ඔහු කේවල ගීත රචනා කළා තමයි. නමුත් ඔහු වඩාත් අභිරුචියකින් සහ ඔහුගේ මුළු නිර්මාණ කුසලතාවම ප්‍රකාශ කළේ ගීත නාටක මාලාවෙන්. පැය එකහමාරක දෙකක වැඩසටහනක් නිසා ඒකට ගීත රාශියක් ඇතුළත් වුණා.ඒවා සේරම ඔහු තෝරාගත්තේ හින්දු දේවකතා,මිත්‍යා කතා,ඓතිහාසික කතා ආදී වූ තේමාවන්ගෙන්,'මනෝහාරී’ ගීත නාටකය මෙහිදී විශේෂයි. එය සිංහල ගීත නාටක ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන සන්ධිස්ථානයක් සටහන් කළා.මානවසිංහ ගීත නාටක 15ක් පමණ රචනා කළ බවයි මගේ මතකය.විමල් අභයසුන්දරල ඩෝල්ටන් අල්විස්,අරිසෙන් අහුබුදු වගේ අය ගීත නාටක රචනා කරන්න මේ නිසා පෙලඹුණා.මේ නිසා ස්වතන්ත්‍ර ගී තනුල ස්වතන්ත්‍ර නිර්මාණකරුවන් බිහිවුණා.

ඔහුගේ චිත්‍රපට ගී විශේෂිතයි. ඒවා එකිනෙකට වෙනස් ආරක් ගත්තා. ඒ ගැන අවධානය යොමු කළොත්?
1959 තිරගත වූ'දෛවයෝගය’ චිත්‍රපටයේ අන්තර්ගත ගී තුනම මානවසිංහයි රචනා කළේ. ඒවා අතිශයින් ජනප්‍රිය වුණා. ඊළඟට ඔහු 1962 දී තිරගත වුණු'රන්මුතුදූව‘ චිත්‍රපටයට ගීත තුනක් රචනා කළා,'සිකුරු තරුව‘ චිත්‍රපටයේ ගීතත් සාර්ථක වුණා. නමුත් ඔහු එක එක අයගේ ඉල්ලීම නිසා ලියූ චිත්‍රපට ගීත එතරම් සාර්ථක වුණේ නැහැ. ඔහු ලියූ චිත්‍රපට ගීත සංඛ්‍යාව 15ක් පමණ.

මානවසිංහයන්ගේ අප්‍රමාණ සාහිත්‍ය සේවාව නිසි ඇගැයීමට ලක්වූයේ නොමැති යැයි මට සිතෙනවා?
ඔව්.ඔහුගේ ලිපි ලේඛන ගීත, කවි නිසි පරිදි ඒකරාශී වී හෝ නැහැ.'වගතුග‘ තීරුවෙන් බැට කෑ බොහෝදෙනා ඔහු යටපත් කිරීමට උත්සාහ ගත්තා විය හැකියි.

සංලාපය - සුමුදු චතුරාණි ජයවර්ධන
උපුටාගැනීම -පුන්කළසිණි.

 









































Read 450 times
Body
Background Color
Text Color
Background Image