Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Thursday, 11 July 2013 05:25

මාලිනී, අශෝක සේරසිංහ ට 'බැහැ' කියයි

Rate this item
(0 votes)
මාලිනී,  අශෝක සේරසිංහ ට 'බැහැ' කියයි
මාලිනී ෆොන්සේකා ට අශෝක  සේරසිංහට වඩා බලයක් තිබේ. අශෝක සේරසිංහට වඩා රේණුකා බාලසූරියට බලයක් තිබේ. මේ බල දෙක අතර ට ඔහු මැදිවන්නේ ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙසය.  මාලිනි මෙවර සරසවිය පුවත්පතට ප‍්‍රකාශ කර ඇති කාරණය ඉතාමත් සැළකිල්ලෙන් විමසා බැලිය යුතුය .
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති තනතුරුට අශෝක සේරසිංහ සුදුසු නැති බව ඇය ප‍්‍රසිද්ධියේ අභියෝගයට ලක් කරයි. ඇය සිනමා රංගන ශිල්පිණියක්, අධ්‍යක්‍ෂවරියක්, නිෂ්පාදකවරියක් ලෙස පමණක් නොව, ඇය පාර්ලිමේන්තුව නියෝජනය කරණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරියකි. ඇය නියෝජනය කරන්නේ විපක්‍ෂය නොවේ වර්තමාන ආණ්ඩු පක්‍ෂයයි. එනිසාම ඇය කරණ ප‍්‍රකාශය තරමක් බරපතලය, අභියෝගාත්මකය .මක්නිසාද යත් මෙම සභාපති තනතුරු සඳහා අශෝක සේරසිංහව පත්කරණු ලැබුවේ  චිත‍්‍රපට සංස්ථාව අයිතිවන ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍යවරයා නොව මේ රටේ විධායක ජනාධිපති වරයායි. මාලිනී මේ අභියෝග කරන්නේ මාලිනී බොහෝ සේ අගය කරන තම විධායක ජනාධිපති වරයාගේ තීන්දුවයි, තීරණයයි.
 
මාලිනී  මේ ප‍්‍රකාශ නිකුත් කරන්නේ චිත‍්‍රපට සංස්ථා සභාපතිවරයා  ව ජනාධිපතිවරයාගේ උදහසට ලක්කිරීමටද?ජනාධිපතිවරයාගේ තීන්දු ව වැරදි බව සෘජුව ප‍්‍රකාශ කරන්නට ඇයට ශක්තිය ඇති නිසාද?
 
මාලිනී කළ  ප‍්‍රකාශයන් හි  උපුටාගත් කොටස් මෙතැනින් කියවන්න
 
"අශෝක සේරසිංහ කියන පුද්ගලයා එක්ක මගේ ගැටලුවක් නෑ.අර්බුදය තිබෙන්නේ චිත්‍රපට සංස්ථා සභාපතිතුමාත් එක්ක.ඒ තනතුරත් එක්ක.
    
මේ සභාපති ධූරයට පත් වෙන්න ඕනෑ සිනමාව පිළිබඳිකැක්කුමක්'ආදරයක්’ තියෙන කෙනෙක් සහ කර්මාන්තය පිළිබඳ අවබෝධයක්, සංවේදී බවක් තිබෙන කෙනෙක්. නමුත් මම දකිනවා, මම කෙළින්ම කියනවා මේ සභාපතිතුමාගේ ඒක නෑ.
 
 
මෙතෙක් දුරට මේ අර්බුද ඔඩුදුවලා තියෙන්නේ ඔහු කෙළින් ක්‍රියා කරපු නැති නිසා. ජනාධිපතිතුමා අපි ඔක්කොම ඉදිරියේ කිව්වා මේ චිත්‍රපට සංස්ථා පනත යටතේ මෙන්න මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා.එච්චරට ශක්තිමත් පනතක්. ඇයි මේවා ක්‍රියාත්මක නොකරන්නේ කියා එතුමන් ඇහුවා. එතකොට ඒ බලය තියාගෙන ඔහු මේවා ක්‍රියාත්මක කළේ නෑ.දෙපැත්තට වැනුණා. එහෙම වෙලා බෑ. තමන්ගේ තනතුර ආරක්ෂා කරගන්න කෙනෙක් නෙවෙයි අපට අවශ්‍යය නේ? තමන්ගේ තනතුර, වාහනය,වැටුප මේ තිබෙන තත්ත්වය ආරක්ෂා කරගෙන කර්මාන්තය ගැන හිතන්නේ නැතිනම් එහෙම සභාපතිවරයෙක් අපට වැඩක් නෑනේ.
 
නමුත් ඔහු තමයි පිටපත් තිස් පහේ තීන්දුව ප්‍රකාශයට පත් කළේ....?
ඔව්. ඒක තමයි, එහෙම ප්‍රකාශ කරලා ඔහු කිව්වා අද මෙතැනින් පස්සේ මම වේවැල අතට ගන්නවයි කියලා. මම හොඳ පුරුෂ ශක්තියක් තියෙන කෙනෙක් කියලා කිව්වා. කෝ අද ඒවා?
 
වේවැල අතට ගත්තේ නෑ?
කෝ අද ඉතින් ඒවා. එතකොට අහන්න වෙනවනේ ඇයි එහෙම කෙළින් ක්‍රියා නොකළේ කියලා. අදටත් සංස්ථා මණ්ඩලයේම සිනමා ශාලාවක"නිකිණි වැස්ස" අයින් කරලා"සිරි පැරකුම්" චිත්‍රපටය පනස් හතර වැනි කොපිය හැටියට දෙනවා. එතකොට කොහොමද සභාපතිතුමා කෙළින් කෙනෙක් වෙන්නේ. මේ පිටපත් ප්‍රමාණය නිසා සභාපතිතුමා අධිකරණයටත් ගියා. ගිහින් දිනලා ලොකුවට මල් මාලාත් දාගත්තා. ඊට පස්සේ ඔහුම අනෙක් පැත්තට වැඩ කරලා අර තීන්දුවට එරෙහිව යනවා. මම දන්නවා ඊළඟට තිරගත වෙන්න තිබෙන චිත්‍රපටයකටත් සංස්ථාවේ සිනමා ශාලා දෙන්නේ නෑ.'සිරි පැරකුම්’ එකට දෙන්න ඒවා තියාගෙන ඉන්නවා. එතකොට අර දුප්පත් නිෂ්පාදකයාට යන කල දවස මොකක්ද?
 
ඔබ කියන්නේ ඔහු දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා කියාද?
ඔව්. අනිවාර්යයෙන්ම. එතකොට අපේ සිනමාව ඉදිරියේදී ඩිජිටල් තාක්ෂණයට යා යුතුව තිබෙනවා. ඒවාට තීන්දු, තීරණත් අරගෙන තියෙනවා. නීති අංශයට දීලා තියෙනවා.මේ පනත සංශෝධනය කරලා අවශ්‍ය කරුණු ඉදිරිපත් කරන්න කියලා.
 
ඩී.බී.නිහාල්සිංහයන්ගේ ප්‍රධානත්වයෙන් තාක්ෂණ කමිටුවකුත් පත් කළා. ඔබත් එහි සාමාජිකාවක්?
මමත් හිටියා. සභාපතිතුමාත් හිටියා.එතකොට තීරණය කළ ප්‍රමිතියට වඩා අඩු ප්‍රමිතියකට යා යුතුයි කියලා දැන් ඔහුම කියනවා. ඒ කියන්නේ 2k වලට වඩා අඩු ප්‍රමිතියකට මේක දෙන්න ඕනෑ කියලා එයා කියනවා. ඒ අයත් එක්ක සාකච්ඡා කරනවා.එතකොට ඒක එහෙනම් අර සාකච්ඡාවේදී කියන්න තිබුණා.ඒ තැන්වලදී කට වහගෙන ඉඳලා එළියට ඇවිත් අර පිරිස ඉදිරියේ සිංහයා වෙනවා. සංස්ථාවේ නඩුවට ලක්ෂ විසි අටක් වියදම් කළා කියලා මට ආරංචියි. එතකොට මොකටද එයා වියදම් කළේ?කොපි තිස් පහ අනිවාර්යය විය යුතුයි කියන එකට. දැන් නඩු තීන්දුවට එරෙහිව එයා කොහොමද අවසර දුන්නේ?කාගෙන් ද එයාට නියෝගය ආවේ?
 
ඉහළින් ආපු නියෝගයක් කියලා හිතමු?
ඉහළින් නම් එයා ඒක පෙන්නන්න ඕනෑ.
 
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය යටතෙනේ චිත්‍රපට සංස්ථාව තිබෙන්නේ.සභාපතිතුමාට යම් බලපෑමක් වුණා වෙන්න බැරිද?
ඒක මම දන්නේ නෑනේ. මගේ කර්මාන්තයට විරුද්ධව මොනවා හරි බලපෑමක් එනවා නම් මම නම් අවංක තීරණයක් ගන්නවා. සභාපතිතුමාගේ යුතුකම මේ ප්‍රශ්නයට මැදි වුණ පිරිස එකට කැඳවලා සාකච්ඡා මට්ටමින් නිසි තීන්දුවකට එන්න.මොකද සංස්ථා පනත ඒ තරම් ප්‍රබලයි. සංස්ථාව කාගෙවත් පෞද්ගලික බුදලයක් නෙවෙයි.එය තියෙන්නේ කර්මාන්තයේ සුබසිද්ධිය තකා වැඩ කරන්නනේ. ඉතින් හිතුමතේ ක්‍රියා කළාම සිනමාවේ ඉන්න අපි අපිම එකිනෙකාගේ හතුරෝ වෙනවා. නිකං අපරාදේ මේවට කතා කරන්න ගිහින් මම පෞද්ගලිකව අහ ගන්නවා කුහකයි, ඊර්ෂ්‍යා සහගතයි අරවද මේවද කියලා.සමහරු කියනවා මම අනුභව කරනවා කියලා.ඒත් සිනමාව වෙනුවෙන් අනුභව කරන්න නෙවේ ඉල්ලන් කන්න වුණත් මම ලෑස්තියි.
 
සභාපතිතුමා පනතේ බලතල හරි හැටි ක්‍රියාත්මක නොකළ බව ද ඔබ කියන්නේ?
කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යතුමා ඒ වෙලාවේ රටේ නොසිටිය නිසා අනුර ප්‍රියදර්ශන ඇමතිතුමා මේ තීන්දුව දුන්නා, මේ වගේ කතා තියනවනේ. ඔවුන්ගේ රාජකාරිය වෙන දෙයක්. කර්මාන්තය ඇතුළේ තියෙන ප්‍රශ්න සහ පනතේ තියෙන නීති ගැන ප්‍රමාණවත් අවබෝධයක් ඒ අයට නැති වෙන්න පුළුවන්. එතකොට සභාපතිතුමාගේ යුතුකම තමයි මේවා පෙන්නලා දෙන එක. එයා නීතිඥයෙක් කියන විදිහට. එතකොට එයාගේ ළඟ ඉන්නෙත් තව නීතිඥවරියක්. ඒ අයගේ යුතුකම නිවැරැදි දේ පෙන්වීම.එහෙම නොකළ නිසා තමයි අද මේ අර්බුදය මේ තරම් දුර ගිහින් තියෙන්නේ.
 
ඔබේ කතාවෙන් මට වැටහෙන්නේ වත්මන් සභාපතිවරයා ඒ තනතුරට සුදුසු නෑයි කියන එක?
මම එහෙම කියනවා. මේ තනතුරට ඔහු සුදුසු නැහැ. එහෙම සුදුසු වෙනත් තනතුරක් තියෙන්න පුළුවන්. මොකද මේ ක්‍රියා කලාපය නිසා. එහෙම නැතිව ඒවා හරියට ක්‍රියාත්මක කළා නම් මට ප්‍රශ්නයක් නෑ කවුරු මෙතැන හිටියත්.
 
නළු,නිළි සුබසාධනයට වඩා සිනමා කර්මාන්තයේ අභිවෘද්ධිය තකා තමන් කටයුතු කරන බව අශෝක සේරසිංහ මහතා වරෙක  ප්‍රකාශ කළා. මේ නිසා ඔබ ඔහු සමඟ උරන වී සිටිනවාද?
ආ ..... ඒ ගැනත් කියන්න ඕනෑ. සංස්ථාවෙන් නළු, නිළියන්ගේ සුබසාධන කටයුතුත් සිදු විය යුතුයි. මොකද ඒ පොදු සම්බන්ධතාවය කලාකරුවන් හැටියට අවශ්‍යයි. කලාකරුවන් කියන්නේ බොහොම සංවේදී අය.එතකොට ඒ අයගේ උපන් දිනයකදි කතා කරලා, මල් කළඹක් දීලා, කේක් ගෙඩියක් කපලා ඔවුන්ට සුබපැතුවම ඒකත් ඒ අයට විශාල සතුටක්. සංස්ථාව දිහා අපි හැමෝම බලාගෙන ඉන්නවා. එක කාලයක් කලාකරුවන් වෙනුවෙන් ඔය ගේට්ටුව වැහුණා.මම ඒක හොඳටම දන්නවා. සංස්ථාවෙන් කර්මාන්තයේ දියුණුවට අදාළ දේවල් සිදුවිය යුතුයි. ඒත් මේක සුබසාධානයට නෙවෙයි තියෙන්නේ කියලා කාටවත් කියන්න බෑ.එහෙම සුබසාධන කටයුතු කෙරෙන්නේ නැතිනම් සිනමා ශිල්පින්ට මාසිකව දෙන රුපියල් 2000 ත් නතර කරලා දාන්න ඕනෑ. ඇයි ඒකත් සුබසාධන කටයුත්තක් නේ.
 
උපුටා ගැනීම අවසන් - සරසවිය පුවත්පතින් උපුටා ගන්නා ලදී .
'සිරිපැරකුම්' පිටපත් 55 සඳහා අනුමැතිය ලබාගත් ලිපියක් චිත‍්‍රපට සංස්ථා සභාපතිවරයා නිකුත් තළ බව  දැනගත් විට ඒ පිලිබඳව මිරර් ආර්ට්ස් සංස්ථා  සභාපතිවරයාගෙන් විමසා සිටි අවස්ථාවේ  , සභාපතිවරයා ප‍්‍රකාශ කළේ 'තවම මට එවන් අනුමැතියක් ලබාදෙන්නැයි ඉහලින් ලිඛිතව ඇවිත් නැහැ. ඒ නිසා මම එවැනි ලිපියක් නිකුත් කර නැහැ' කියා ප‍්‍රකාශ කරන ලදී .
 
එමෙන්ම නිකිණි වැස්ස චිත‍්‍රපටය කන්ට‍්‍රාස්ට් දළුගමින් ගැලවීම සම්බන්ධන්‍ අරුණ ජයවර්ධණ විසින් සංස්ථා සභාපතිවරයාට යවන ලද ලිපිය සම්බන්ධයෙන් මිරර් ආර්ට්ස් සභාපතිවරයාගේන් එය ලිපිය ලැබුණාද?ඔබ විසින් ගන්නා තීන්දුව කුමක්දැයි විමසා සිටි විටද 'එවැනි ලිපියක් ඒ වනවිටත් ලැබී නොතිබූ බව ප‍්‍රකාශ කළ අතර ඒ නිසා ඊට ගන්නා තීන්දු සම්බන්ධ පිලිතුරු දිය නොහැකි බව' පැවසීය 
 
මාලිනී ඉහතින් කරන ලද ප‍්‍රකාශයන්ට අනුව චිත‍්‍රපට සංස්ථා සභාපතිවරයා තව දුරටත් තම තනතුර වෙනුවෙන් පෙනී සිටීවිද? තනතුරට සුදුසු නැති බව ඇය කරනු ලැබ ඇති ප‍්‍රකාශය සම්බන්ධව සංස්ථා සභාපතිවරයා කුමන ප‍්‍රකාශයක් කරණු ඇතිද? 
මේ සියල්ලෙහිම අර්බූදය කොතැනද? 
මාලිනී ෆොන්සේකා-රේණුකා  බාලසූරිය- සෝමරත්න දිසානායක- නීතිය-පිටපත් 35 /55 -සංස්ථා සභාපතිවරයා-සංස්ථා පනත-ජනමාධය අමාත්‍යාංශය-සිනමාකරුවන්-සිනමා කර්මාන්තය-බලය-ගැටුම-මේ සියල්ල ට ඉහලින් සර්වබලධාරීත්වය .
Read 378 times
Body
Background Color
Text Color
Background Image