Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Wednesday, 03 July 2013 07:58

සුචරිත ගම්ලත් ගෙ මරණය ගැන සැකයිලු

Rate this item
(0 votes)
සුචරිත ගම්ලත් ගෙ මරණය ගැන සැකයිලු

බහුශ්‍රැත බුද්ධිමතකු වූ මහාචාර්ය සුචරිත ගම්ලතුන් මියගොස් පසුගිය30 දිනට තෙමසක් පිරිණි. අප දන්නා පරිදි ඔහු මිය ගියේ පෙනහළු පිළිකාවක් වැළඳී මසක් පමණ කාලයක් අනේක විධ දුක් පීඩා විඳිමිනි.මෙම මහා බුද්ධිමතා මිය ගොස් තෙමසක් ගතවන මෙවෙලෙහි එම අභාග්‍යසම්පන්න මරණය අරභයා විවිධ මත පළවෙයි.ඇතැමුන් පවසන්නේ මෙය ස්වභාවික මරණයක් නොව කෲරතර මරාගැනීමක් බවය. ඔහු අවසන් හුස්ම හෙලුවේ ඉතා අමානුෂික වද හිංසා විඳිමින් බව තවත් අය කියති. මරණයත් සමග ‍පොර බදිමින් දුක්විඳිමින් සිටි මෙම යෝධ මිනිසා ගතින් දුබලව රෝගී වූ අවසන් දින පෙළෙහි මුඛයට බට දමා මඤ්ඤොක්කා යුෂ පෙවූ කල්ලියක් ගැනද තොරතුරු ඇතැයි කියති. ඔහු තමාගෙන් උදුරා ගත් බවත්, එසේ කළේ ඔහුගේ නම භාවිත කොට ව්‍යාපාර කටයුතු සැලසුම් කළ භාෂා වෙළෙන්දන් බවත් ගම්ලතුන් සමග 34 වසරක් එකට දිවි ගෙවූ ශාන්තා පද්මපෙරුම කියයි. ඔහුගේ බුද්ධිමය දේපළ හිමිකාරිත්වයද ඔහු ජිවත්ව සිටි කාලයේදීම නීත්‍යනුකූලව තමා වෙත පවරා දී ඇති බවද ඇය කියයි.

මෙම කීර්තිමත් විද්වතාගේ මරණයෙන් තෙමසක් ගත වන මෙවෙලෙහි ඇය සිය අයිතීන් ගැන මෙසේ සාක්ෂි ඉදිරිපත් කරන්නේ ඇයි? ඒ මෙම බහුශ්‍රැත ප්‍රවීණ ‍ලේඛකයාගේ බුද්ධිමය දේපළ කන්දරාව ඩැහැගැනීමේ අභිප්‍රායයෙන් ඇතැමුන් කුමන්ත්‍රණ කරන බවට තොරතුරු ඇති නිසාය.ගම්ලතුන්ගේ මරණය මෙතරම් කෲරතර වූයේ සහ ඉක්මන් වූයේ එම ව්‍යාපාරික අවශ්‍යතා නිසා බැව් ඇයගේ අදහසයි.

දශක තුන හමාරක් එක් වහළක් යට එකට පවුල් කෑ තමන් සිටියදී රෝගියාගේ භාරකාරත්වය රෝහ‍ලේදී තම අනුදැනුමකින් තොරව අන් පාර්ශ්වයක් අයිති කොට ගෙන තිබේ. එසේ වන්නේ කෙසේදැයි ශාන්තා පද්මපෙරුම විමසයි. ඇය පවසන පරිදි මහාචාර්ය ගම්ලත් රෝගී වූ පසු පළමුව ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන ගියේ ඇයයි.

ඒ 2013 පෙබරවාරි 12 දායග සායන අංක 15203 යටතේ රෝගියා සායනයට ඇතුළු කරනුයේ ඇයයි.එතැනදී රෝගී තත්ත්වය හඳුනාගැනීමෙන් පසු පෙබරවාරි 22 දින මහරගම පිළිකා රෝහලට ඇතුළු කළේ ද තමා බව ඇය පවසයි. ඇඳ ඉහපත් අංකය 7855ය. වාට්ටුවට ඇතුළත් කර ඇත්තේද ඇය විසින්මය. නමුත් රෝහ‍ලේ ලියාපදිංචි කර ඇත්තේ ඇය නොදන්නා අන් නමකින් බව ශාන්තා පද්මපෙරුම පවසයි.මේ බව ඈ දැනගන්නේ සති දෙකකට පමණ පසුවය. මෙසේ පිටස්තරයෙකු විසින් රෝගියෙකු තම භාරයට ගැනීමේ අරමුණ කුමක්ද? මෙම ඩැහැගැනීම ගැන ඇය රෝහලටත් මරදාන ‍පොලීසියටත් පැමිණිලි කොට තිබේ.නමුත් ඇය කියන්නේ ඵලක් වූයේ නැති බවයි.රෝහලක් සමග කල්ලි ගැසුණු පිරිමි සමූහයක් සමග තනි ගැහැනියකට සටන් කළ හැකිද?

ඉතා දිගු කාලයක් තමා සමග ජීවත් වූ ඔහුගේ මරණයත් සමග අරගල කරන සංවේදී දින කිහිපය තුළ ඇය බෙහෙවින් හැඟුම්බර වූවාය. ඇය කියන පරිදි කුමන්ත්‍රණකරුවන් හට සිය යටි අරමුණු සාර්ථක කරගන්නට පහසු වූයේ මේ පසුබිමයි.

මේ දැවැන්ත විද්වතා ලෙඩ ඇඳට වැටුණු විගස මතුවූ සාත්තුකරුවන් හා භාරකරුවන් එතෙක් කල් සිටියේ කොහේදැයි ඇය අසයි.

ගම්ලතුන්ගේ ‍පොත්වල අයිතිය ඉල්ලා ප්‍රකාශන ආයතන හිමිකරුවන් මුණ ගැසුණු අයද සිටිති.හදිසියේ මතුවූ එම භාරකරුවන් මතෛක් කල් මේ විශිෂ්ටයා ජීවත් කරවීමට කළ යමක් වේදැයි ඇය අසයි. ගම්ලත් මියගිය විගස ‍පොත්වල අයිතිවාසිකම් විමසන්නට ගිය ඒ එක් භාරකරුවකු ගෙන් එක් ප්‍රකාශකයකු විමසා ඇත්තේ ඔබ මේ විශිෂ්ටයාගේ බුද්ධිමය දේපළ විමසන්නට මෙහි පැමිණියේ අඩුම තරමින් හත් දවසේ දානේවත් දීලා නොවේ නේ දැයි යනුවෙනි.ගම්ලතුන්ගේ මරණයත් සමග සැනෙකින් ඉපැදුණු භාරකරුවෝ නිරුත්තර වූහ. ඔවුන්ගේ එකම අභිප්‍රාය සහ සිහිනය වූයේ මේ විශිෂ්ටයාගේ ‍පොත් කන්දරාවෙහි අයිතිය සියතට ගැනීම බව ඇය කියයි.ගම්ලතුන්ගේ නම සහ ප්‍රතිරූපය පෙරට දමා වෙළෙඳාම් කරන්නට සැලසුම් කළ කල්ලියෙහි ඒකායන අභිප්‍රාය වුයේ මඤ්ඤොක්කා යුෂ ‍පොවා හෝ ගම්ලතුන්ගෙන් ලද ආවරණය රැකගැනීම බවද ඇය පෙන්වා දෙයි. රෝද පුටුවක තබා හෝ මෙම රෝගියා තම වෙළෙඳ‍පොළ කරා රැගෙන යාම අරමුණ වූ බව ශාන්තා පද්මපෙරුම පවසයි. වෙළෙන්දන්ට වටින්නේ මනුස්සකම නොවේ.

මහාචාර්ය ගම්ලත්හට පිළිකාවක් වැළඳී ඇතැයි දැනගත් විගස මේ දැවැන්තයාට මුවා වී ව්‍යාපාර කළ ඇතැම් වෙළෙන්දන් කලබල වූ තරම තමා දුටු වග ශාන්තා කියයි. මඤ්ඤොක්කා ප්‍රතිකාරයට ගම්ලතුන්ගේ කැමැත්ත ගැනීම සඳහා එම කල්ලියේ ඈයෝ වරින් වර තම නිවසට ආ ගිය බව ඇය දනී. ඔහු ඒ සියල්ල ඇයට සැල කර ඇත.තම පියා මෙන්ම පියාගේ පියාත් සිංහල වෙදුන් වූ නමුදු මහාචාර්ය ගම්ලත් සිංහල වෙදකම් විශ්වාස කළ, ඇදහූ පුද්ගලයකු නොවේ. ඈ පවසන්නේ ඔහු විද්‍යාත්මක නොවන දේවල් විශ්වාස කළ අයකු නොවන බවයි. මහාචාර්ය ගම්ලත් මඤ්ඤොක්කා ප්‍රතිකාරයට තම දැඩි අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ එබැවිනි.

රෝගියා මහරගම පිළිකා රෝහලට ඇතුළත් කළ පසු මෙම කල්ලිය වහා ක්‍රියාත්මක වී ඇත. රෑට රෑට රෝහලට ඇතුළු වී මේ කීර්තිධර විද්වතාට මඤ්ඤොක්කා යුෂ පෙවූ වගට එහි සාත්තු සේවකයන් හා රෝගියාගේ තනියට තැබූ සහකරුවන් පවසන බව ඇය කියයි. මහාචාර්යවරයා බටහිර වෛද්‍ය ක්‍රම යටතේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙබඳු සිංහල අත්බේත් බොන්නට ප්‍රිය නොකළ බවද ඇය සඳහන් කරන්නීය.

මහරගම පිළිකා රෝහ‍ලේ සිට කොළඹ මහ රෝහලට රෝගියා රැගෙන ගොස් ඇත්තේ ඔය අතරතුරය. රෝහලට බාර දුන් ඇයට ඇස් පනාපිටම ඔහුගේ භාරකාරත්වය අහිමි වන්නේ ඔතැන් සිටය. එතැන් පටන් මෙම විද්වතාගේ සකල විධ අයිතිය තමන් සතු ලෙස මෙම කල්ලිය හැසිරුණු බව ඇය කියයි. දිනක් මඤ්ඤොක්කා යුෂ බෝතලයක් ද රැගෙන ඉතා ජයග්‍රාහී ලීලාවෙන් වාට්ටුව කරා එන එම කල්ලියේ අයෙකුට ඇය කෝපයෙන් පහර දී ඇත. ඇය කොළඹ මහ රෝහ‍ලේ වාට්ටුව බාර වෛද්‍යවරියටද මෙම මඤ්ඤොක්කා ප්‍රතිකාරය ගැන කීවාය.බටහිර වෛද්‍ය ප්‍රතිකාර දෙන අතරතුර කිසියම් පිටස්තර කල්ලියක් මෙම රෝගියාට සිංහල අත්බෙහෙත් පෙවීම ගැන වෛද්‍යවරිය ඇතුළු හෙදියන් පවා සිය තදබල විරෝධය පෑ බව ඇය කියයි. එහෙත් මඤ්ඤොක්කා ප්‍රතිකාරය දේව ඖෂධයක් ලෙස විශ්වාස කළ මෙම වෙළෙඳ කල්ලිය රාත්‍රියෙහි පැමිණ කළ බලපෑම නවතන්නට කිසිවකුට නොහැකි විය.එම කල්ලියට ඉහළින් ලද බලතල තිබුණා විය හැකි යැයි ඇය කියයි. රජයේ රෝහලක් තුළ මෙසේ පිටස්තර කල්ලියකට රාත්‍රියෙහි පැමිණ මෙලෙස රිසිසේ හැසිරිය හැකිද? පිළිකා රෝගියකුට දවල්ට එක් ප්‍රතිකාරයක් හා රාත්‍රියට තවත් ප්‍රතිකාරයක් කිරීම සුදුසුද? ඔහු මිය ගියේ පිළිකා තත්ත්වයෙන් නොවිය හැකි බව ඇය විශ්වාස කරයි.
මෙම අමුතු දේශීය හා බටහිර කලවම් දෙබිඩි ප්‍රතිකාරය ගැන ඇය ජාතික රෝහ‍ලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළ විට ඔහු වහා උපදෙස් දුන්නේ මෙම රෝගියා පිළිකා රෝහලටම යවන ලෙසයි.පිළිකා රෝහ‍ලේ ප්‍රතිකාර ලද යුතු රෝගියෙකු කොළඹ මහ රෝහලට ගෙනෙන්නේ කාගේ වුවමනාවට දැයි ඇය අසයි.

ඇය මරදාන ‍පොලීසියේ මාර්තු 19 දා ර්ඛිඅ 445/13 07 233 ඛි1ඕ අංක යටතේ කළ පැමිණිල්ල විභාග කරමින් ‍පොලීසිය මෙම තුන්වන පාර්ශ්වයට රෝගියා වෙතින් ඉවත් වන ලෙස අවවාද කර ඇත. මෙම කල්ලිය මෙතරම් බලවත් ලෙස රෝගියා එහෙ මෙහෙ ගෙනයමින් සිය සිතැඟි පරිදි ප්‍රතිකාර කිරීමට ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්යවරයකුගෙන් උදව් ලබාගෙන ඇති වගද ඇය පවසයි. ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේද ප්‍රබලයෙකි. එසේම පිළිගත් විද්වතෙකි. ශාන්තා තම දියණියද කැටුව සිංහල අවුරුදු සමයේ මෙම මහාචාර්යවරයාගේ නිවසට ගොස් මේ බව විමසූ කල ඔහු මෙම බරපතළ තත්ත්වය ගැන නොදැන සිටි බව ඇය කීවායග එසේ නම් මෙම කල්ලිය ඔහුවද නොමග යවා ඇතැයි ඇය පෙන්වා දෙයි.

කෙසේ හෝ අවසානයේදී මේ මහා බුද්ධිමතා දෑස පියා ගන්නේ කොළඹ මහ රෝහ‍ලේදීය.මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ පෙනහළු පිළිකාවය. ශාන්තා ප්‍රශ්න කරන්නේ මෙබඳු රෝගියකුට ප්‍රතිකාර කරන්නට පිළිකා රෝග අංශයක් මහ රෝහ‍ලේ තිබේද යනුවෙනි. මෙතරම් බරපතළ පිළිකා රෝගියකුට ප්‍රතිකාර කළ හැකි තරම් විශේෂඥ වෛද්‍යවරයකු මහ රෝහ‍ලේ සිටිනවාද යනුවෙනි. එසේ නම් පිළිකා රෝගියකු මහ රෝහලෙහි තබාගෙන සිටීම වරදක් නොවේදැයි ඇය ප්‍රශ්න කරයි.

ගම්ලතුන් මිය ගිය මොහොතෙහි මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන්නැයි බල කිරීමට තරම් ශක්තියක් හෝ නිරවුල් මනසක් තමාට නොවූ බව කියන ඇය එසේ කළා නම් එය මෙම විශිෂ්ට විද්වතාට කරන අවමානයක්ද විය හැකි යැයි තමා සිතූ බව පවසයි. ඈ විශ්වාස කරන්නේ මහාචාර්ය ගම්ලත් මිය ගියේ පිළිකා රෝගයෙන් නොවන බවයි.

ඔහුගේගේ වකුගඩු අක්‍රිය වී තිබිම නිසා මරණය සිදුවිනැයි ඇතැම් වෛද්‍යවරුන් තමාට කී බව ඇය කියයි. එසේ වකුගඩු අක්‍රිය වන්නට ඇත්තේ ඉහත කී වෙළෙඳ කල්ලියේ මඤ්ඤොක්කා පෙවීම නිසා බව ඇය විශ්වාස කරයි.

ඔහුගේ නම විකුණමින් අටවා ගත් යම් ඇකඩමියක් සඳහා මෙම ශාස්ත්‍රකාමී බුද්ධිමතාගේ ආලෝකය ලබා ගැනීමේ අරමුණෙන් මෙම කල්ලිය කොයි යම් ක්‍රමයකින් හෝ මොහුව කෙළින් කරවා ගැනීමේ උත්සාහයෙන් ක්‍රියා කළ බව ඇයගේ මතයයි.

මෙම කල්ලියේ බලපෑම ගැන කල්තියා ඉඟි ලද පසු ගම්ලතුන් නීතිඥවරියක මාර්ගයෙන් සිය රෝගයේ ප්‍රතිකාර ඇතුළු සියලු අයිතිවාසිකම් පිළිබඳ සම්පූර්ණ අයිතිය තමන්ට පවරා ඇති වගට ලිඛිත සාක්ෂි පවා තිබියදී රෝගියාගේ භාරකාරත්වය අනෙකකු විසින් සිය නමට හරවාගෙන ඇති බවට ශාන්තා චෝදනා කරයි. ඇය කියන පරිදි අවසානයේ ප්‍රාණ සුන් දේහය පවා හිමිව ඇත්තේ එම කල්ලියටය.

වසර 34ක් තමන් ඔහුගේ ශාස්ත්‍රීය කටයුතුවලට හිතකර පසුබිමක් සාදා දුන් අතර තමාටත් වඩා උස ‍පොත් කන්දක් ලියන්නට මේ බුද්ධිමතාට හැකි වූයේ ඒ නිසා නොවේදැයි ඇය පවසන්නීය.

ඉහත සටහන් තබන ලද්දේ ශාන්තා පද්මපෙරුම විසින් හෙළි කරන ලද ඒකපාර්ශ්වික තොරතුරු අනුවය. ඇය පවසන පරිදි ඔහු මියගියේ පෙනහළු පිළිකාවකින් නොවේ. ඇයට අනුව එය ස්වභාවික මරණයක් නොව වද හිංසා පමුණුවා කළ ඝාතනයකි.හුදෙක්ම එය ව්‍යාපාරික අරමුණු තකා කළ වදදීමකි. ඔහු සතුව තිබූ බුද්ධිමය දේපළ ඩැහැ ගැනීමේ යටි අරමුණෙන් කළ කුමන්ත්‍රණයකි. මේ සියල්ලෝ නිරුත්තර කරමින් හඬවමින් වටිනා බුද්ධිමතෙක් දෙනෙත් පියා ගත්තේය.

ශාන්තාගේ දැන් අභිප්‍රාය ගම්ලතුන් එතෙක් කරගෙන ආ මහානර්ඝ සම්පන්න වූ සාහිත්‍ය මෙහෙවරට තමාට හැකි පමණින් පුනර්ජීවය දීමයි. ඇය විසින් චෝදනා කරනු ලබන කල්ලිය අමතා ඔවුනගේ මතය විමසා එයද මේ ලිපියට එක් කරන්නට අප දැරූ උත්සාහය ඔවුන් විසින්ම සඵල නොකරන ලද බව මෙහිදී ලියා තබන්නේ සෑම දේකම තවත් පැත්තක් තිබිය හැකි බව විශ්වාස කරමිනි. ඇය ජනතාව හමුවෙහි තම නඩුව තබයි. කල්ලිය පිළිතුරු දිය යුතුය.

අජිත් ගලප්පත්ති

Read 399 times
Body
Background Color
Text Color
Background Image