Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Monday, 01 July 2013 14:56

"අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්"

Rate this item
(0 votes)
"අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්"

කොළඹ ආනන්දය යනු සිංහල බෞද්ධ ප්‍රභූත්වය දක්වන සංකේතයක් ලෙස මෙරට පාසල් පද්ධතිය තුළ ස්ථාපිත වූවකි. එය අධිරාජ්‍ය විරෝධී යටත් විජිතහරණ යුගයේදී කළ ඓතිහාසිකව ප්‍රගතිශීලී වැඩකොටසක් තිබෙන්නට හැකත් අද එය පාසල් කුල භේදය ඉදිරියට ගෙන යන, සිංහල බෞද්ධ අධිපති මතවාදය හා ධුරාවලිය පවත්වාගෙන යමින් ඓතිහාසිකව ප්‍රතිගාමී කාර්යයක් ඉටු කරන පාසලකි.ආනන්දය සම්බන්ධව මට ඇති එකම සාධනීය ස්මරණය දයානන්ද ගුණවර්ධනයන්ගේ ආනන්ද ජවනිකාය.

ආනන්ද විදුහලේ ආදි ශිෂ්‍යයකුවූ දයානන්ද ගුණවර්ධන නම් ඒ සුවිශිෂ්ඨ නාට්‍යවේදියාණන් විසින් ආනන්ද විදුහලේ සියවස් සැමරුම වෙනුවෙන් නිර්මාණය කළ ආනන්ද ජවනිකා නම් ඒ අති දැවැන්ත රංග කාර්යය සුගතපාලද සිල්වා විසින් වේදිකාවට ගෙනා චැරින්ටන් සායනයේ නේවාසිකයන් විසින් සාද් ඈපාණන්ගේ අධ්‍යක්ෂණයෙන් යොන් පොල් මරාත්ගේ වධවිඳීම සහ ඝාතනය රඟ දැක්වූ අයුරු හෙවත් මරා සාද් සමග පමණක්ම ලාංකීය නාට්‍ය ඉතිහාසය තුළ නිෂ්පාදන පාර්ශ්වයෙන් සමතැන් ගනියි.

ජාතිකත්වය ගොඩ නැගීමේදී සිදුවූ විවිධාකාර අවසන්ධිවීම් අතර දයානන්ද ගුණවර්ධන අවනිශ්චය වී ලාංකීය වේදිකාව තුළ සංස්කෘත රසවාදයේ හා අලංකරණවාදයේද, දමිල නාඩගම් ශෛලියේද බැරි බර කර තබා ගත් සරච්චන්ද්‍රගේ නාට්‍ය සම්ප්‍රදාය අධිනිශ්චය වීමද ප්‍රධානය.එය ඩී.එස්.වෙනුවට බණ්ඩාරනායක නම් රෙද්ද අස්සෙ මහත්තයා අධිනිශ්චය වීමෙන් ලාංකීය ජාතියට කැටුණු හදියට දෙවෙනි නොවේ.සරච්චන්ද්‍රගේ නිර්මාණයන්හි සදාතනිකභාවය රැක ගනිමින්ම ඔහු විසින් හඳුන්වා දුන් සෞන්දර්ය‍වේදයෙන් කැඩී වෙන්වීමට අපට බල කරනු ලැබ ඇත.

අපට සිටින එකම පශ්චාත් යටත්විජිතවාදී නාට්‍යකරුවා දයානන්ද ගුණවර්ධනය. ඔහු වාර්තා රංගය මෙරට වේදිකාවට හඳුන්වා දුන්නේය. බක්මහ අකුණු තුළින් කැරකෙන වේදිකාව මෙරටට හඳුන්වා දුන්නේය. ලුඩොවයික්ගේ වේදිකා පරිපාලක වූ ප්‍රංශ ජාතික ජුබාල් යටතේ වේදිකා සහායකයකු ලෙස ලාංකීය වේදිකාවට පිවිසි ඔහු ලාංකීය වේදිකාව පවත්නා කල් අභිභවනය කළ නොහැකි සියත් රංග සම්ප්‍රදායක සුවඳ අපට ගෙනාවේය.

ජාතිකවාදියකුවූ ඔහු මිය යන විට කරන්නට අදහස් කොට සිටි නාටකය පෘතුගීසීන් අප මේ ජිවත්වන යුගයේ යළි පැමිණ අප යටත් කර ගනිත්වායි යන ප්‍රාර්ථනය සහිත එකක් විය.එය ජාතියේ කුදු මහත් සමාජිකයන් පමණක් නොව වෙසෙසින්ම ජාතිකත්වය විකුණා කන මුදලාලිලා පිළිබඳ ඔහුගේ ආකල්පයද පිළිබිඹු කරන්නකි.

මධුර ජවනිකා මෙන්ම ආනන්ද ජවනිකාද පශ්චාත් යටත් විජිතවාදි දෘෂ්ටියක් නියෝජනය කළා මිස පටු ජාතිකවාදයකට කොටු නොවීය.එසේම මෙරට ඊනියා වික්ටෝරියානු ජාතිකවාදීන්ගේ කතෝලික කුහකත්වය ඔහු තුළ අබමල් රොනකුදු නොවූ බවට මහඟු නිදසුන ගජමන් පුවත සහ බක්මහ දීගේ යි.

දයානන්ද ගුණවර්ධනගෙන් පසු යළිත් පශ්චාත් යටත්විජිතවාදී රංග කාර්යයක රසවිඳීමේ භාග්‍යය පසු ගියදා ලදිමි. ඒ ආනන්ද විද්‍යාලයේ නාට්‍ය සංගමය විසින් ඉදිරිපත් කළ "අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්" නම් ඉංග්‍රීසි නාට්‍යයයි.එය 2013 සමස්ත ලංකා පාසල් ඉංග්‍රීසි වේදිකා නාට්‍ය අතරින් පළමු තැන ලද නාට්‍යයයි.

ලාංකීය පාසල් වේදිකාව යනු අදේශපාලනික බෝල පිට්ටනියකි.රිචඩ්ද සොයිසා නාමය මොහොතකට අමතක කළ හොත් ලාංකීය ඉංග්‍රීසි වේදිකාවද ඉන් වෙනස් නොවේ.

ෂේක්ෂ්පියර්ලා,සොපොක්ලීස්ලා නොසිටියා නම් මේ පිට්ටනිවල පෙරලෙන්නට බෝල බංගලි දේසෙන් නම් නොඑත් මැයි. ලාංකීය එක්ස් පැට්‍රියේට් ලේඛකයන්ගේ නිර්මාණ කාර්යයෙන් මේ වැඩි වෙනසක් නොදරයි. මෙහි අදහස මෙරට සිට සිංහලෙන් ලියන,වෙන බසකින් ලියන්නට බැරි කට්ටියගේ කාර්යයන් හොඳයැයි යන්න නම් නොවේ.

කෙසේ හෝ අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් ආනන්ද විද්‍යාලයීය නාට්‍ය සංගමයත් ආදි ආනන්දියයන්ගේ දායකත්වයත් සහිත නිර්මාණයකි.එය ලුවිස් කැරොල්ගේ ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් නම් අග්‍රකෘතිය ජායානුවාදයක් සේ යොදා ගනියි.ඇලිස් යන්න අලස් යනුවෙන් පදපෙරළියට ලක් කරයි. ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් කැරොල් විසින් ලියනු ලැබුවේ සිය හද දිනූ දොළොස් වියැති ලොලිටාවියකට ගණිතය ඉගැන්වීමටයි.

කැරොල් පූජකයකු මෙන්ම ගණිතඥයකු විණිග එය ලෝක මට්ටමින් ළමා සාහිත්‍ය කෘතියක් ලෙස සම්භාවනාවට ලක් විණි. මලු වචන, පද පෙරළි වැනි විවිධ නූතනවාදී සාහිත්‍ය ප්‍රයෝග ඒ විසින් ලෝක සාහිත්‍යයට හඳුන්වා දෙනු ලැබිණි.නමුත් මෙහි ආනන්ද රාජකරුණා විසින් ඉන් අනුවර්තිත රන් පිඟාන සේ වටකුරු තරමටම අහිංසක නිර්මාණයක් බවට ඇලිස් ඉන් වොන්ඩර් ලෑන්ඩ් පත්ව තිබේ. එහෙත් එය බටහිර විශ්ව විද්‍යාලයන්හි සාහිත්‍ය අධ්‍යයනයේදී බරපතල ලෙස සැළකිල්ලට ගැනේ. වික්ටෝරියානු යුගයේ මහන්තත්වය, සාරධර්ම ඒ හරහා නියෝජනය වන ආකාරය පිලිබඳ සමාජ විද්‍යාත්මක කියවීම් පවා සිදු කෙරේ.

වොන්ඩර්ලෑන්ඩ් යන්න කන්ට්‍රි ඔෆ් ස්මෝල් මිරැකල්ස් යනුවෙන් ආසියාවේ ආශ්චර්යය උත්ප්‍රාසාත්මක ලෙස පද පෙරළියට හසු කරන "අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්" ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්හි එන චරිතද ඇතුළත්ව ලාංකීය සමකාලීන දේශපාලනයට ජායානුවාදිත දේශපාලන ප්‍රහසනයකි.වසර තිහකට අධික මගේ ප්‍රේක්ෂක ජීවිතය තුළ මා දුටු නිර්භීතම ලාංකීය රංග කාර්යය එයයි. අප මේ ජීවත් වන්නේ ලාංකීය ඉතිහාසයේ දැවැන්තතම ලෙස ප්‍රකාශන නිදහස අවුරන ලද අති බිහිසුණු යුගයකයි. මෙය සම කළ හැක්කේ නිශ්ශංක මල්ල නම් චූල වංශිකයා විසින් ලේඛක කුලයේ ,මැණිවරුන් තුන්දහසකගේ ඇඟිලි සිඳ දැමූ කාළකන්ණි පරිච්ඡේදයට පමණි. මෙවන් යුගයක පාසල් සිසුන් පිරිසක් විසින් මෙවන් නිර්භීත පියවරක් තැබීම අදහා ගත නොහැකි සිදුවීමකි.එසේම එය සමස්ත ලංකා හොඳම ඉංග්‍රීසි නාට්‍යය බවට පත්වීමද එවන්මය.

එය සමකාලීන ලාංකීය දේශපාලනය කලාපීය සන්දර්භය තුළ ඓතිහාසිකව ස්ථාන ගත කරයි. මෙය මෙයට පෙර අපට දකිත හැකි වූයේ දයානන්ද ගුණවර්ධනයන්ගෙන් පමණි. සිය ගැමි සුවඳ මුසු සෞන්දර්යවේදය හා ජාතිකවාදය පසෙක වේවා දයානන්ද ගුණවර්ධනයන්ද අතිශය සංස්කෘතික බහුත්වවාදී දෘෂ්ටියක් සහිත නාට්‍යකරුවෙක් විය.එසේම අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්ද අරැන්දතී රෝයි සඳහන් කරන ඉන්දියාවේ සෑම ගමකටම ලයිට් හා ටීවී ලබා දී සමතලා කරන්නට ඉන්දියාවේදී උත්සාහ කළ දකුණු ආසියානු කලාපීය සන්දර්භයේ වන සංස්කෘතික බහුත්වවාදී මසාලාව ස්පර්ශ කරයි.

සමකාලීන ලාංකීය දේශපාලනය විෂය කර ගන්නා මෙහි රෙඩ් ක්වීන් ලෙස ඉන්දිරා ගාන්ධි නිරූපනය කරන අතර ජැබරවොකී ලෙස ජය ලලිතා නිරූපනය කෙරේ. ඉන්දියානු අධිරාජ්‍යවාදය සහ උතුරු ඉන්දීය හා දකුණු ඉන්දීය දේශපාලනය ලාංකීය දේශපාලනයට බලපාන ආකාරය මෙසේ විනිවිද දකින අතරම ඉන්දිරා ගාන්ධි විසින් දියත් කළ විවෘත ආර්ථික සුද්ද කිරීම ඓතිහාසිකව වර්තමාන ලාංකීය නව ලිබරල් සුද්ද කිරීම සමග වන සම්බන්ධය ද අපූරුවට ඉස්මතු කෙරේ.

එම දේශපාලනික සවිඥාණකත්වය සේම ජයලලිතාව ජැබරවොකී හරහා නිරූපනය කරද්දී සමාජ මානව විද්‍යාත්මක මානයක්ද අපට හඳුනා ගත හැකිය. එනම් කාලි හෙවත් දුර්ගා භූමිකාවයි.රාහුල් ගාන්ධිව ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්හි හාවා ලෙස නිරූපනය කිරීම තුළින් රෙඩ් ක්වීන් වන ඉන්දිරා ගාන්ධිගේ කාර්යභාරය තැචර් හා රේගන්ගේ තත්වය සමග සන්සන්දනාත්මකව සලකා බැලීමට අපව පොළඹවනු ලබයි.

විවෘත ආර්ථිකය නව ලිබරල්වාදයේ පළමු කස පහර විය.ජේ. ආර් මෙම සන්දර්භය තුළ ස්ථාන ගත නොකර ඉන්දිරා ගාන්ධි හා ඒ පදයට නටන වත්මන් ලාංකීය විධායකය ඉදිරිපත් කිරීම පශ්චාත් යටත් විජිතවාදී කියවීමක් අප හමුවේ තබයි.සැබැවින්ම ජේ. ආර්ටද වඩා ජේ. ආර් වන වත්මන් විධායකය ඉන් නිරූපනය කෙරේ.

වර්තමාන ලාංකීය විධායකත්වය කුරහන් සාටකය දමා ගත් නපුංසක රූකඩයක් සේ නිරූපනය කෙරෙන අතර ක්‍රියාකාරී එකම ලාංකීය දේශපාලන භූමිකාව සට්ටම්බි චණ්ඩියා පමණි. අන්තනෝමතික තුච්ඡ චණ්ඩි දේශපාලනයක් පමණක් ක්‍රියාකාරීත්වයට නංවා විධායකය නපුංසක රූකඩයක් කිරීම වර්තමාන තත්වය නිරූපනය කිරිමට මොනවට ගැලපෙයි. මෙය දේශපාලනික වශයෙන් තියුණු ලෙස මෙම වාතාවරණය දකිනු මිස කිසිසේත් පුද්ගලිකත්වයක් ඉස්මතු නොවන ලෙස ඉදිරිපත් කිරීමක් වනුයේ ඓතිහාසික සන්දර්භයක් තුළ කලාපීය වශයෙන් ස්ථානගත වන බැවිනි.

එබැවින් පුද්ගලයකු බලයෙන් පහ කොට ඒ වෙනුවට තවෙකෙක් ගෙන ඒම ඉන් අදහස් නොකෙරේ.ආනන්ද විද්‍යාලයීය මුහුණු පොතේ අනාගත නායකයා ලෙස,මීළඟ ජනාධිපති ලෙස සරත් පොන්සේකා සඳහන් කොට තිබීම අනෙකකි. එහෙත් මේ නාට්‍යය නම් එවැනි තකතීරු අදහසක් ඉදිරිපත් නොකරයි.

පොන්සේකා මෙන්ම වත්මන් ආරක්ෂක ලේකම්වරයාද ආදි ආනන්දියයන්ය. නාට්‍යය බැලීමට කුලරත්න ශාලාවට යාමට විදිහල් භූමියට ඇතුළු වීම මෙන්ම එහි රැඳී සිටීමද අතිශය අප්‍රිය සිදුවීමක් විණිග කිරිපල්ල අතගෑවේ නැතත් විවිධාකාර ආරක්ෂක අංශ විදුහල අවටත් විදුහල්භූමිය තුළත් සිටියහ.දම්වැල්වලින් බැඳි පොලිස් බල්ලන් රැගත් ආරක්ෂක අංශ නියෝජිතයන් තැන තැන සැරූහ. කලාකෘතියක් රසවිඳීම අතිශය අමිහිරි අත්දැකීමක් බවට පත් කරන සිදුවීමක් නම් දේශපාලකයන්, නිලදරුවන් සහ ආරක්ෂක කුලී කර්මකාරාදීන් දෑසට මුලිච්චි වීමයි. එතරම් අප්‍රිය දසුනකින් පසු කෘතියක් සමග සහෘදභාවයට පත්වීම අතිශය අසීරුය. මේ අසීරුව මැද ශාලාවේ අසුන් ගත්තේ මැද්දේදී නැගිට යමැයි සිතාගෙනය. සංවිධායකයින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීමට ආරක්ෂක ලේකම්වරයාට ආරාධනා නොකළ අතර එවන් අංගයක් වැඩසටහනට ඇතුළත් නොවිණි.

නාට්‍යය පූර්ව රංගය තුළදී චිකාගෝවක් බවට පත්ව තිබෙන වත්මන් තත්වය විකාරරූපී ලෙස නිරූපනය කළ අතර එය එතරම්ම කෘතියට බද්ධ නොවිණි.එහෙත් නාට්‍යය අප හමුවේ දිග හැරෙන්නට ගත් පසු එය විස්මයාන්විත කාර්යයක් විය. මෙවන් යුගයක පාසල් වේදිකාවක ඇසිඩ් බාත් ගැන කතා කිරීමත්ල සුදු වෑන් පැමිණ මාධ්‍යවේදීන්ව අතුරුදහන් කිරීම නිරූපනය කිරීමත් වටහා ගන්නේ කොතනින්ද? වෙසෙසින්ම ආරක්ෂක ලේකම්වරයාට ඇරයුම් කොට එවැන්නක් රඟ දැක්වීම? එය ඔහු ආදි ආනන්දියකු විම නිසා තිබෙන ඉහවහා ගිය ආත්ම විශ්වාසයක්ද?

නැතොත් සිංහල බෞද්ධ ප්‍රභූත්වය මේ කසඩ ක්‍රමය පිළිබඳ මෙතෙක් දරා සිටි නිහැඬියාව බිඳීමක පෙර නිමිත්තක්ද? එය මේ පිටුපස සිටින එක් නිර්මාපකයකුගේ පුද්ගල කැරැල්ලක්ම විය නොහැක. මෙවන් පාසලක ළමුන් එවන් හුදකලා කැරැල්ලක අතකොළු කොට ගත හැකිද? අනෙක එය සමස්ත ලංකා ඉංග්‍රීසි නාට්‍ය තරඟයේ හොඳම නාට්‍යය වීම?

එක්කෝ මේ නාට්‍යය ඉංග්‍රීසි නාට්‍යයක් හා පොදු ජනතාව අතරට නොයන්නක් නිසා බිය නොවිය යුතු තලයක ලා සැලකීද? මෙහි පිටපත් රචකයා පිළිබඳ සඳහනක් සමරු පත්‍රිකාවේ දක්නට නැත. කෙසේ වුව මෙය පිටපතකින් පමණක් මෙවන් සවිඥාණක රංග කාර්යයක් බවට පත් විය නොහේ.අනෙක් අතින් අධ්‍යක්ෂකවරුන් වන රාජිත හෙට්ටිආරච්චි හා ඉෂ්ඨාර්ථ වැල්ලබොඩගේ දේශපාලනික සවිඥාණකත්වයකින් හෝ මග පෙන්වීමෙන් පමණක්ම මෙවන් සාමූහික කාර්යයක් මුදුන්පත් විය නොහේ.

එසේත් නැත්නම් සැබැවින්ම ආරක්ෂක ලේකම්වරයා තමන් නිර්දය උපහාසයට ලක් කළ විකට චිත්‍ර උපේක්‍ෂාවෙන් දරා ගත් නික්සන්,කෙනඩි වන් මනා පරිණත විචක්ෂණභාවයක් ඇත්තෙකු විය යුතුයග ඩිෆෙන්ස් ඩොට් එල් කේ වෙබ් අඩවියේ පසුදාම ආරක්ෂක ලේකම්වරයා මෙම අවස්ථාවට සහභාගී වුණු ඡායාරූප දක්නට හැකි විණි.

කෙසේ හෝ ආනන්දෙට සුදුවෑන් එකක් තවම නම් ආ බවක් අසන්නට නැත.එසේ නොවේවායි ලාංකීය නාට්‍ය කලාවේ අනාගතය වෙනුවෙන් ඉත සිතින් ප්‍රාර්ථනා කරමු. කෙසේවුව කාමරයකට,ඇඳකට, නළුවකු හා නිළියකට හෝ චරිත දෙක තුනකට සීමාවූ නව ලිබරල් සයනාසනානු ධර්මී නාට්‍ය සම්ප්‍රදායෙන් අවදි වන ලෙස අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ් සිංහල වේදිකාවෙන් මොර ගා ඉල්ලා සිටියි.

මිහින් අලස් නම් ජාත්‍යන්තර කීර්තිය දිනූ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ අතුරුදහන්වීම කෘතියේ හුය වෙයි. සිදු නොවුනක් හෝ සිදු විය නොහැකි සේ පෙනෙන යමක් ඔස්සේ සිදු වන දෙය අපූරුවට මේ විසින් ඉදිරිපත් කරයි.මේ නරඹද්දී මෑතක තිරගත වූ මිඩ්නයිට් චිල්ඩ්‍රන් කෘතිය මතකයට නැගුණේ ඉන්දියාවට නිදහස ලැබෙන තත්පරයේ උපන් කථා නායකයාගේ ජීවිතයට ඉන්දිරා ගාන්ධි විසින් කළ සුද්ද කිරීම බල පෑ ආකාරය එහිද මූලික හුයක් වන බැවිනි.එසේම ඇලිස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්හි පොලිස්කාරයා මෙහි අන්තනෝමතික අධිකාරවාදී ඔෆිසර් ශිවා වෙයි.මිඩ්නයිට් චිල්ඩ්‍රන්හි සලීම්ට අඩන්තේට්ටම් කරන හමුදා නිලධාරියාද ශිවාය.

"අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්හි" කාන්තා චරිත රඟපෑ සිසුන්ද ඇතුළු බොහෝ දෙනගේ රංගන ප්‍රතිභාවන් ලාංකීය වේදිකාවට නැවුම් බලා‍පොරොත්තුවක් ගෙනෙයි. වඩාත් මතක සිටිනා සුළු නළුවාට හිමි සම්මානයත්, හොඳම නාට්‍යය සඳහා හිමි ශූරතාවයත් මෙන්ම ජනතා තේරීම් සම්මානයත් 2013 වසරේ අන්තර් පාඨශාලාන්තර සමස්ත ලංකා ඉංග්‍රීසි නාට්‍ය තරඟාවලියේදී අලස් ඉන් වොන්ඩර්ලෑන්ඩ්ට හිමි විය.ජනතාවගේ තේරීම සම්මානය මෙවන් දේශපාලනික නාට්‍යයකට හිමිවීම සැබෑ ජනතා තේරීමකදීද එසේම නොවනු ඇත්තේ මන්ද?


කේ. කේ. සමන් කුමාර

Read 231 times
Body
Background Color
Text Color
Background Image