Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Sunday, 26 May 2013 07:02

ජනප්‍රිය වෙනව නම් ජනප්‍රිය වෙයි

Rate this item
(0 votes)
ජනප්‍රිය වෙනව නම් ජනප්‍රිය වෙයි

චිත්‍ර කලාව වූ කලි අනෙකුත් කලා මාධ්‍යයන් අතර හමුවන සුවිශේෂී කලා මාධ්‍යයකි‍. එය ඉතා සියුම් වූවත් ප්‍රබල ප්‍රකාශන ශක්තියකින් යුත් කලා මාධ්‍යයකි. අතීතයේ පටන් එහි හැඩ හුරුකම් නොයෙක් ආකාරයට පරිණාමය වී අද වන විට එහි කලාත්මක සීමාවන් ද ප්‍රකාශන ශක්තිය ද දාර්ශනික තලයක ක්‍රියාත්මක වේ. අද අපගේ සංලාපයට එක්වන ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එච්.ඒ.කරුණාරත්නයන් ශ්‍රී ලාංකේය බෞද්ධ චිත්‍රයට නව දාර්ශනික පසුබිමක් නිර්මාණය කර දුන් කලාකරුවෙකි.සිය නිර්මාණ වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසක් හිමි කරගත් ඔහු සෞන්දර්යය විශ්වව්ද්‍යාලයේ චිත්‍ර අංශයේ ප්‍රමුඛ ආචාර්යවරයෙකි.

චිත්‍රයක් රස විඳින්නේ කෙසේද?
චිත්‍රයක් රස විඳීම සඳහා පළමුව ප්‍රධාන සුදුසුකම් දෙකක් සපුරා ලිය යුතුයි.ඉන් පළමු වැන්න නම් චිත්‍රය රස විඳින තැනැත්තාට චිත්‍ර ගැන අවබෝධයක් තිබිය යුතුයි.දෙවැනුව ඔහු චිත්‍ර ශිල්පියා වගේම නිර්මාණ ශිල්පියකු ද විය යුතුයි.කොටින් ම කියනව නම් චිත්‍ර ගැන අවබෝධයක් තියෙන කලාකරුවකු විය යුතුයි.

ඒ අනුව කිසියම් කෙනකුට ඇහෙන් බලා චිත්‍රයක් රස විඳින්න බැරි ද?
බැහැ. කිසිම දවසක ඇහෙන් විතරක් බලල චිත්‍රයක් රස විඳින්න බැහැ. එහෙම පුළුවන් කියල කවුරු හරි කියනව නම් ඔහු සැබෑ චිත්‍ර ශිල්පියකු නෙමේ. ඇහෙන් බලන්නෙ ඇහැට වුවමනා දෙය විතරයි. අපිට ඕන දෙය නෙමේ. අපිට ඕන දෙය දකින්න නම් එය මනස හරහා දැකිය යුතුයි. මනසෙන් නොදැක ඇහෙන් පමණක් බලන්නෙ ව්‍යාජ දේග ඇහැට පේන්නෙ බොරු. මනස තමයි ඇත්ත ඒ කියන්නෙ සත්‍යය දකින්නෙ. කලාකරුවා කියන්නෙත් සත්‍යය වෙනුවෙන් පෙනී සිටින කෙනෙක්. ඒ නිසා නිර්මාණකරුවා පළමුව සත්‍යය වෙනුවෙන් පෙනී සිටින්න ඕන. ඒ වගේම රස විඳින්නා ද සත්‍යය අවබෝධ කරගන්නකු වෙන්න ඕන.ඔය දෙකම නිකන් ඇස් දෙකෙන් කරන්න බැහැ.ඒ සඳහා මනසට පිවිසෙන්න ඕන.

එය දිගු කාලයක් තිස්සෙ ප්‍රගුණ කළ යුතු කරුණක්.
ඔව්.දීර්ඝ කාලයක් ඒ සඳහා සටන් කළ යුතුයිග දීර්ඝ කාලයක් ඒ වෙනුවෙන් දුෂ්කරක්‍රියා කළ යුතුයි.එහෙත් එහි අවසානය ඉතා ම නිර්මලයි.එවැනි තත්වයකට පුද්ගලයකු පත් වුණාම එක තැන නවතින්නෙ නැහැ.ඔහු තවදුරටත් සත්‍යය සොය සොයා මනසින් ගමන් කරනව. එවිට තමා එන්න එන්නම නිදහස් වෙනව. එවිට තමාගේ කලා කෘතියද නිවහල්ල නිදහස්ල සරල ප්‍රකාශනයක් වෙනව.රස වින්දනය අමාරුවන්නෙ මෙන්න මේ නිදහස් සරලත්වය (simplicity) නිසා. සරල වෙන්න සරල වෙන්න ඕනෑම නිර්මාණයක ගැඹුර වැඩිවෙනවා.මෙතැනදි සරල බව කියා සැඟවෙන්නෙ නිර්මාණකරුවාගේ මනස හරහා බිහිවන ආධ්‍යාත්මික ප්‍රකාශනයෙ සරල බව මිසක්,හැමදා අප අත් දකින සරල බව නෙමේ. ඉංග්‍රීසි කියමනක් තියෙනව To be simple is great but Great is not simple කියල.

එය උදාහරණයකින් පැහැදිලි කළොත්
කුරුල්ලකුගෙ අත්තටු සැහැල්ලු වෙන තරමට තමයි උගේ වේගය වැඩි වෙන්නෙ.සුළඟ කොපමණ සියුම් ද කියනව නම් එය අපට පෙනෙන්නෙ නැහැ අපිට දැනිල වේගයෙන් හමාගෙන යනව. බුදු හාමුදුරුවො පවා හස්ත මුද්‍රාවක් පාවිච්චි කළේ ඇයි? එයින් වචන දාහකින් කියන්න බැරිදේ ප්‍රකාශ වෙනව. බුදු හාමුදුරුවො කවදාවත් අනවශ්‍ය විදියට වචන පාවිච්චි කළේ නැහැ.

තම ශ්‍රාවකයන්ගෙ දැනුම් මට්ටම් හඳුනාගෙන එම දැනුම් මට්ටම්වලට ගැළපෙන ආකාරයෙන් ධර්මය දේශනා කළා.සමහරු එක බණ පදයක් අහනකොට රහත් වුණා.එවැනි ශක්තියක් ගොඩ නැ‍ඟෙන්නෙ මනසින් තමා පිරිසුදු වුණොත් විතරයි.මනසින් තමා සත්‍යය සොයා ගියොත් පමණයි.එය වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒ අනුව තමා තුළ ගොඩනඟා ගත යුතු ශක්තිය තමා විසින් ම ගොඩ නඟා ගත යුතුයි. සැබෑ කලාකරුවා,නිර්මාණ ශිල්පියා කියන්නෙත් එවැනි ශක්තියක් ඇති කෙනෙක්.සත්‍යය සොයා යන්නෙක්.

ඇහැ හරහා මිනිස්සු රවට්ටන කෙනෙක් නෙමෙයි.මිනිස්සු මුලා කරන කෙනෙක් නෙමේ.සත්‍යය වෙත මිනිසුන් කැඳවාගෙන යන්නෙක්. ඒ වගේම කලාකරුවා කියන්නෙ පිළිගත් දෙය තිබුණට එය ඒ ආකාරයෙන්ම පිළිගන්න කෙනෙක් නෙමේ.එය කඩා බිඳ ගෙන යන කෙනෙක්. ඔහු එකතැන නතර වෙන කෙනෙක් නෙමේ.ඔහුව නතර කරන්න බැහැ. එකතැන නතර වෙන දේ පල්වෙනව.ගලක් පෙරළි පෙරළි යනකොට එහි විවිධ හැඩතල මතුවෙනව වගේ සැබෑ නිර්මාණකරුවා තමන් අවට ඇති සියලුම බාධක තල්ලු කර දමා නොනැවතී ඉදිරියට යා යුතුයි.ඔහු කාගෙවත් වහලෙක් නොවෙයි . ඒ නිසා ඔහුට අසීමිත නිදහසක් තියෙනව.

හැබැයි ඇහැ පමණක් තියෙන පුද්ගලයන්ට එය තේරෙන්නෙ නැහැ.මනස තුළින් යම් දෙයක් වටහා ගන්නාට පමණයි එය අවබෝධ වන්නෙ.එවැනි ශක්තියක් ඇති ‍කෙනෙක් කවදාවත් තේරුම් හොයන්න යන්නෙ නැහැ. ඔහු කරන්නෙ විඳීම පමණයි. සැබෑ කලාකාරයා බොහෝ දේ සම්බන්ධ නිශ්ශබ්දයි.ඔහු උත්තර දෙන්න යන්නෙ නැහැ. බොරුකාරයො තමයි හැමදේටම උත්තර දෙන්නෙ. සැබෑ කලාකරුවා හා බොරු කලාකාරයා ඒකෙන් හොයා ගන්න පුළුවන්. හඳුනාගන්න පුළුවන්.චිත්‍ර කලාව කියන්නෙ දර්ශනයක්.භාවනාවක්.Art is a king to meditationකියල කියන්නෙ ඒකයි.

ඔබ ප්‍රකාශ කරන පරිදි කලා කෘතියක් රස විඳීමට නිර්මාණකරුවා හා රස විඳින්නා යන දෙපාර්ශවය තුළ ම ප්‍රබල මානසික ශක්තියක් ගොඩනැගී තිබිය යුතුයි. එය ගොඩනඟා ගන්නේ කෙසේ ද?
එය කිහිප ආකාරයකින් ගොඩනඟා ගත හැකියි.පොත්පත් ඇසුරින් ගොඩනඟා ගත හැකිය.විවිධ කලා කෘති ඇසුරු කිරීමෙන් ගොඩනඟා ගත හැකියි. තමා විසින්ම ගොඩනඟා ගන්නත් හැකියි.

තමා විසින් ම ගොඩනඟා ගන්නේ කෙසේ ද?
අනිත් කරුණු දෙකට ම වඩා මෙය ඉතා වැදගත්. එය ගොඩනඟා ගත හැක්කේ සොබා දහම ඇසුරෙන්.සොබාදහමෙන් තොරව පවතින කිසිදු දෙයක් නැහැ.සොබා දහම අපගේ ජීවිතවලට ළංවෙන්න ළංවෙන්නට අපට ඒ ඇසුරින් ලැබෙන ශක්තිය ඉතා විශාලයි.සොබා දහම සමඟ ජීවත් වනවා කියන්නෙම ඇහින් නොවේ මනසින් ලෝකය දැකීමක්.මනසින් ලෝකය දකින කෙනාට ගලක්,ගහක්,ලී කැබැල්ලක්,සිප්පි කටුවක් මේ ඕනෑම දෙයකින් වින්දනය ලබන්න පුළුවන්. නමුත් ඇහින් පමණක් ලොව දකින්නාට ඒව තව එක එක වස්තු විතරයි. ඔහුට ඒ කිසි දෙයක වටිනාකමක් පෙනෙන්නෙ නැහැ. එම වටිනාකම අපට ළඟා කර දෙන්නෙ සොබා දහම සමඟ ජීවත්වන අපේ මනස. එයින් ඉවත් වුණා කියන්නෙ අපි අපිවම විනාශ කර ගැනීමක්. දැන් බලන්න නගරයෙ තියෙන බොහොමයක් ගස් එහි නියම ස්වරූපයෙන් තියන්න ඉඩ‍ දෙන්නෙ නැහැ.ඒව කෘත්‍රිම ලෙස කපා දානව. එවිට ගහේ නියම ස්වරූපය නැති වෙලා යනව. එය එවිට ගෝචර වන්නෙ ඇහැට පමණයි. මනසට නෙමේ. ඒ වගේම තමන්ගෙ ගෙදර තියෙන ගස් හිතුමතේට කපා දානව.

ගෙයක් හදනකොට ඉස්සෙල්ලම කරන්නෙ වත්තෙ තියෙන ගස් ටික කපල දැමීම.සොබාදහම එහෙම විනාශ කරන්න හොඳ නැහැ.සොබාදහම අපිත් එක්ක මිතුරුව සිටින්න ඉතාම ආසයි. අපේ ජීවිතෙ අපට හමුවන අපේ ප්‍රධාන මිත්‍රයා තමයි සොබාදහම. එයට පිටුපා යනව කියන්නෙ අපි අපිවම විනාශ කර ගැනීමක්. ඒ සේරම වෙන්නෙ ඇහැට මූලිකත්වය දීම නිසයි.මනසට මූලිකත්වය දුන්න නම් ඔය තත්ත්වෙ බොහෝ දුරට පාලනය කරගන්න තිබුණා. බුදු හාමුදුරුවො පවා සියලු යස ඉසුරු අතහැර දමා ගස් සෙවණෙ බිම ඉඳගත්තෙග ගහක් කැපීමට අවශ්‍යම නම් එය සිදුකරන ආකාරයත් බුදු බණේ සඳහන් වෙලා තියෙනව. බුදුන් වහන්සේ තරම් කලාකරුවෙක් ලෝකේ තවත් පහළ වෙලා නැහැ.ඒ චිත්ත ශක්තිය බුදුන්ට ලැබුණෙ පියවි ඇහැ අමතකකොට මනස හරහා ලෝකය දෙස බැලූ නිසා. සැබෑ කලාකරුවෙක් නම් අනිවාර්යෙන්ම පිය‍වරෙන් පියවර එම සත්‍යය වෙත ගමන් කළ යුතුයි. එසේ නොවන තාක් කල් කිසිම කෙනෙක් සැබෑ නිර්මාණශීලිපියෙක් වෙන්නෙ නැහැ.

නිර්මාණකරුවකු තමන් සතු ශක්තිය පිළිබඳ තක්සේරුවකට එළඹෙන්නේ කෙසේ ද?
නිර්මාණකරුවකු හට ශක්තිය ලැබෙන්නෙ තමන් ආපු ගමන් මඟ අනුවයි.ඔහු කොතෙක් දුරට සත්‍යයට ගරු කළාද යන්න මතයි. එසේ නොමැතිව ඔහු කොපමණ ජනප්‍රිය ද,කොපමණ මුදල් හම්බ කළාද, කොපමණ ප්‍රදර්ශන පැවැත්වූවාද යන්න මත නෙමේ. ඔහු කොතරම් දුරට මනැසින් නිවැරදිව දෙයක් ග්‍රහණය කර ගන්නවාද? යන්න මතයි.එය ඔහුගෙ නිර්මාණ තුළින් එළි දැක්වෙනව.කෙනෙක්ගෙ චිත්‍රයක් දිහා බලල අපිට ඒ මනුස්සයගෙ මනස පිළිබඳ තීරණයකට එන්න පුළුවන්.චිත්‍රයක විතරක් නෙමේ පොරෝ කිහිපයක් දීල ගස් කපන්න කිහිප දෙනෙකුට කිව්වොත් ඒ කපන ස්වරූපය අනුව අපිට ඔහුගෙ මනස පිළිබඳ තීරණයකට එන්න පුළුවන්.

ඒ වගේ චිත්‍රයක්,මූර්තියක් ඔය ඕනෑම දෙයකින් ප්‍රකාශ වෙන්නෙ නිර්මාණකරුවගෙ මානසිකත්වය.හැබැයි ඒ තුළ අපිට මානසිකව වින්දනයක් ලබන්න බැරි නම් එතැන වෙන්නෙ රැවටීමක්, මුලා කිරීමක් පමණයි. ඒ වගේම මානසිකව ශක්තිමත් කලාකරුවකු නොසැලී තමන්ගේ මතය තුළ ඉන්නව.එය එක එක්කෙනාට ඕන ඕන විදියට වෙනස් කරන්නෙ නැහැ.එක එක්කෙනාගෙ වුවමනාවන් වෙනුවෙන් සංශෝධනය කරන්නෙ නැහැ.ඔහු ගරු කරන්නෙ සත්‍යයට මිස අන් කිසිවකට නොවේ.

නිවැරදි "සත්‍යය” මේ යැයි යන්නෙන් හඳුන්වා ගන්නේ කෙසේද?
මිනිසා වර්ණයෙන්, කුලයෙන්, ජාති වශයෙන් බෙදී තිබුණත් ලෝකේ කොහෙ ජීවත් වුණත් මිනිසා සම්බන්ධ සත්‍යය එකම එකයි. මිනිසාට සැබෑ මිනිසකු වශයෙන් ජීවත් වීමට අවශ්‍ය ආධ්‍යාත්මික, සමාජ, සංස්කෘතික සහයෝගීතාව තමයි එකම සත්‍යය. තම මනස දියුණු කර ගනිමින් නිවැරදිව යමක් දෙයක් ‍පිළිබඳ එළඹෙන තීරණය තමයි එකම සත්‍යය.මනස ඇසුරෙහි නිර්මාණය වන සත්‍යය කුමන කාලයකට, කුමන ප්‍රදේශයකට,කුමන වර්ගයකට වුවත් පොදුයි. මනසින් වැඩ කරන කොට එය විශ්ව භාෂාවක් වෙනව. උදාහරණයක් වශනේ ගඟක් පටන් ගන්නකොට එයට නමක් තියෙනව.නමුත් එය සාගරයට එක් වුණාට පස්සෙ ඒ නම නැතිවෙලා යනව. ඒ වගෙ තමයි සත්‍යය සෙවීම.ආරම්භයේදී යම් යම් විභේදනයන්ට ලක් වුණත් අවසානයේ එය පොදු සත්‍යයක් බවට පත්වෙනව.හැබැයි සත්‍යය හඳුනාගන්න බොරුව අහල තියෙන්න ඕන. එහෙම නැතුව එහි වටිනාකම අවබෝධ වන්නෙ නැහැ.

වියුක්ත චිත්‍ර (Abstract) කලාව සොයා යන්නේ එවැනි ගමනක් ද?
ඔව්.වියුක්ත චිත්‍ර සම්පූර්ණයෙන්ම නිර්මාණකරුවාගේ මානසික ශක්තියේ ප්‍රතිබිම්භයක්.බුදුහාමුදුරුවො දේශනා කළ පරිදි "ධර්මය දකින්නා මා දකී” යන්න තුළ සැබවින්ම අන්තර්ගත වෙලා තියෙන්නෙAbstract ගතියක්.මන්ද බුදුන්ගේ ධර්මය මනසින් අවබෝධ කරගත යුත්තක්. එය හදවතින් අවබෝධකර ගත නොහැකියි. ඒ වගේ තමයි වියුක්ත චිත්‍රයක් මනසින් අවබෝධ කරගත යුත්තක්.එහි රස විඳීම ආරම්භ වන්නෙ හදවතින් නොව බුද්ධියෙන්.එය භාවනාවක් වගෙ ව්‍යායාමක්. සැබවින්ම චිත්‍ර කලාව දර්ශනයක්.ආගමක්. චිත්‍ර කලාවෙහි ගැඹුර පෙන්වන දෙයක් තමයි වියුක්ත චිත්‍ර. එහි වර්ණ අඩුයි. ප්‍රකාශනය වැඩියි.සැබවින්ම කලාවේ ගැඹුරට යන්න යන්න වචන අඩුයි. වර්ණ අඩුයි. හයිකු කවිය මෙයට හොඳ උදාහරණයක්. එහි වචන සීමිතයි. අර්ථය ගැඹුරුයි.

නමුත් ඒ නිර්මාණ බොහෝ දෙනකුට ආගන්තුක ගතියක් පෙන්නුම් කරනව.
සීගිරි චිත්‍ර පවා ඇඳපු කාලෙ ආගන්තුක ගතියක් පෙන්නුම් කරන්න ඇති. ඒවයෙ වටිනාකම වැඩි වුණෙ පසුකාලවල දී. ඒ වගේ තමයි ඕනෑම නිර්මාණයක් හැම කාලෙම එක විදියට බාර ගන්නෙ නැතිවෙන්න පුළුවන්.නමුත් නිර්මාණය තුළ සැඟවී තිබෙන මානසික ප්‍රකාශය කවදාවත් යට යන‍්නෙ නැහැ.අනික බොහෝ දෙනෙකුට තේරුම් නොගියාට කමක් නැහැ. කිහිප දෙනෙකු හට වියුක්ත චිත්‍රය කියන ප්‍රකාශනය මනසට කාවැදුණ නම් එය ‍හොඳටම ඇති.කොටින්ම කියනව නම් චිත්‍ර තියෙන්නෙ තේරුම් හොයන්න නෙමේ රස විඳින්න.අවබෝධ කරගන්න.මා මුලින් ප්‍රකාශ කළ පරිදි කලා නිර්මාණයට එකතුවන මානසික ශක්තිය වගේම රස විඳින්නා ගේ ඇති මානසික ශක්තිය ද එයට බලපානව.වියුක්ත නිර්මාණයක තියෙන්නෙ සාරාංශය පමණයි. සාරාංශය කියන්නෙ සමස්තයම කුළුගන්වනු ලබන ප්‍රබල දෙයකට‍.

කලාකරුවකු හට ජනප්‍රියතාව අනවශ්‍යද?
තමා නිවැරදි යැයි අදහන දේ හිතට අවංකව නිර්මාණාත්මකව ප්‍රකාශ කරනව නම් එපමණයි අවශ්‍ය. අනික් සියලු දේම අත්‍යවශ්‍ය නැහැ. ජනප්‍රිය වෙනව නම් ජනප්‍රිය වෙයි. මල් කොහේ පිපුණත් ඒ මල් හොයාගෙන බමරු එනව වගෙ එය සිදුවෙයි. ඒ සඳහා අනවශ්‍ය විදියට වෙහෙසෙන්න ඕන නැහැ.අනුන් සතුටු කරන්න ඉස්සෙල්ල තමාගේ නිර්මාණවලින් පළමුව තමා වින්දනය ලද යුතුයි.

කලාකෘතියක් වින්දනය කිරීම පිළිබඳ ඉගැන්විය හැකිද?
උගන්නනවා කියන්නෙ කෙනෙක් මත යමක් බලෙන් පැටවීමක්. කළ යුත්තෙ එය නෙමේ මාර්ගය පෙන්වා දීම.මා වසර තිස් ගණනක් ගෝලයො සමඟ හිටියත් ඔවුනට කවදාවත් උගන්වන්න ගියෙ නැහැ.නිවැරදි මාර්ගය පෙන්වා දුන්න.අපේ ගැමියො හොඳ රස වින්දනයක් තියෙන අය.ඔවුනට එය ලැබුණෙ ශාස්ත්‍රාල හරහා නෙමේ. සොබා දහම ඇසුරින් හා පූර්වාදර්ශයෙන්. ඔවුන් මිදුල අතුගාන්නෙ කිසියම් රටාවකට. ගොම මැටි අනා ගෙවල් හදන්නෙ කිසියම් රිද්මයකට.

දඬු කැබලි එක්කොට වැට බඳින්නෙ කිසියම් කලාවකට. කුඩා දරුවකු ඇ‍‍ඟේ මඩ තවරාගෙන ඉන්න කොට "බොහොම ලස්සනයි” කියල කියන්නෙ එය විඳල. මේ වගේ ඔවුන් සතුව ස්වභාවිකව පිහිටලා තියෙන වින්දනයක් තියෙනව. නගරෙ අය හිතාගෙන ඉන්නෙ ගැමියන්ට එහෙම වින්දනයක් නැහැ කියල. අපේ ගැමියො සොබාදහම සමඟ ජීවත්වීමට පමණක් ස්වයංක්‍රීයව ඇතිවිය යුතුයි.එය බලහත්කාරයෙන් ඇති කරන්න බැහැ.ඒ වගේම තමයි චිත්‍ර ශිල්පියාගෙ අත මෙවලමක් විතරයි. කැන්වසයෙ හෝ මූර්තියෙ පිළිබිඹු විය යුත්තෙ ඔහුගෙ අධ්‍යාත්මයග මානසික ශක්තිය.

සුලෝචන වික්‍රමසිංහ

පුන්කළස අතිරේකයෙනි

Image Gallery

{gallery}1498{/gallery}
Read 615 times
Body
Background Color
Text Color
Background Image