Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Friday, 05 July 2013 03:52

පෞද්ගලික ආරවුල් නිරාවරණය කරන එකයි වැරදියි

Rate this item
(0 votes)
පෞද්ගලික ආරවුල් නිරාවරණය කරන එකයි වැරදියි

මේ දවස් වල ජනප‍්‍රිය චිත‍්‍රපටියක් සිරි පැරකුම්. කොහොමද ඒ චරිතය සඳහා ඔබට දැනෙන ප‍්‍රතිචාර ?

සන්තෝසයි. සෝමරත්න දිසානායක,රේණූකා බාලසුරිය කියන්නේ ළමයි වෙනුවෙන් නිර්මාණ කරණ දෙන්නෙක්නේ. කොහොමත්, ඒ අය බොහෝ නිර්මාණ කරලා තියෙන්නෙ ළමයි වෙනුවෙන්.ඔවුන්ගේ මේ චිත‍්‍රපටය මම සහභාගිවන තුන්වන චිත‍්‍රපටය.මම හිතනවා සෝමරත්න දිසානායක ගේ හොඳම ළමා චිත‍්‍රපටය "සිරි පැරකුම්" කියලා. ළමා චිත‍්‍රපටයකටත් වඩා, හොඳ ,හැමෝටම බැලිය හැකි චිත‍්‍රපටයක්.මුලක් මැදක් අගක් තියෙන චිත‍්‍රටයක්. සුන්දර දර්ශන තලයන්. ඒ වගේම හැමෝම හොඳ රංගනයන් හි නියුතු වෙනවා ළමයින් පවා. ඒක ළමා කතාවක්. මතුපිටින් එය සුන්දර ළමා කතාවක් වුවත් එහි යටිපෙළ ඉතා විශාල දේශපාලන කතාවක් තියෙන චිත‍්‍රපටයක්. ඒ වගේම මේ දවස් වල හොඳින් ප‍්‍රදර්ශනය වන චිත‍්‍රපටයක්. ඒ ගැනත් සන්තෝසයි. ලංකාවේ හොඳ සලකුණක් තියන්න පුළුවන් චිත‍්‍රපටයක රගපාන්න ලැබිමත් වාසනාවක්.

ලංකාවේ මේ වෙනකොට වාණිජමය සහ ජනප‍්‍රිය ලෙසටත් , සම්භාවය කියලා තවත් චිත‍්‍රපට කොටසකුත් තියෙනවා. මොකද ඔබට ඒ ගැන හිතෙන්නේ?
මෙහෙමයි ඉතින් කලාවක උන්නතිය සඳහා විවිධ විවිධ ක්‍ෂෙත‍්‍රයන් අවශ්‍යයිනේ. සම්භාව්‍ය චිත‍්‍රපට පමණක් හදලත් කර්මාන්තය පවත්වාගෙන යන්න බැහැනේ.වාණිජ චිත‍්‍රපටත් අවශ්‍යයි.විශාල ලෙස වාණිජ වටිනාකමක් තියෙන එකම දේ වෙන රටවල් වලට සාපේක්ෂව ගත්තොත් අපි විශාල ලෙස යොමු වෙන්නේ ඉන්දියාව කියන බොලිවුඞ් සිනනමාව දෙසට.

ඉන්දියාවේ බොලිවුඞ් සිනමාවේ අපි දකිනවා ඔවුන් කොතරම් නිර්මාණාත්මක හා කලාත්මකව මෙම වාණිජ සිනමා නිර්මාණ නිෂ්පාදනය කරනවද කියලා. එතනට අපිට තාම ළගා වෙන්න බැරි වෙලා තියෙනවා. අපි එය වටහා ගෙන නැති කාරණාවක්.

නිර්මාණ සහ වාණිජ කියන එක ඉහළ නිර්මාණ ගුණයෙන් හා කලාත්මකව නිර්මාණය කරන්න පුඵවන්. ඉතිං ඒ සඳහා විශාල පිරිවැයක් දරන්න වෙනවා.ඉතිං ඒක විශාල ප‍්‍රශ්නයක්. අපේ බොහෝවිට මේ වාණිජ සිනමාවේ යෙදෙන නිර්මාණකරුවන් මෙය වාණිජ සිනමාව කියලා හඳුන්වනවටවත් මම එතරම් කැමති නැහැ. වාණිජ ආර්ථික ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් කරන නිර්මාණ කියලා තමයි ඒවා හඳුන්වන්න ඕන.

ඒ නිර්මාණ ආර්ථික ප‍්‍රතිලාභ බලාපොරොත්තුවෙන් විතරක්ම තමයි නිෂ්පාදනය කරන්නේ. එතකොට ඔවුන් ඉතාම අඩු මුදලට මොනවම හරි යමක් කරලා මුදල් හොයන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතාම සරලම විදිහේ කතා පුවත් ඉතාම අවර බාලම විදිහට කරලා සල්ලි හොයන්න තමයි උත්සහ කරන්නේ.එහෙම නොවි සරල කතා අරගෙන බොහොම කලාත්මකව ගුණාත්මකව දෙන්න පුඵවන්නම් රසිකයන්ට, මං හිතනවා අපිට මීට වඩා සිනමාව පිළිබඳ දැනුවත් පිරිසක් මෙන්ම, සිනමා රසවින්ඳනය කියන්නෙ මොකක්ද කියලත් අපිට ඔවුන් දැනුවත් කරන්න පුඵවන්.

ලංකාවේ වාණිජ චිත‍්‍රපට බොහෝම බාල අවරගනයේ කියලා කියන තැනට යන්නෙ නැතුව ලංකාවේ වාණිජ චිත‍්‍රපට කියන්නේ කලාත්මක ගුණයෙන් යුතු චිත‍්‍රපට කියන තැනට අපිට නම හදාගන්න පුඵවන්.ඒකට කරන්න තියෙන්නෙ පිරිවැය පොඞ්ඩක් වැඩි කරලා කාලය සහ ශ‍්‍රමය වැඩි කරලා හොඳ දක්ෂ නඵ නිළියන්ව යොදලා කරනවා නම් සාර්ථකයි කියලා මම හිතනවා.
කලාත්මක චිත‍්‍රපට ගත්තොත් ඇත්තටම ලංකාවේ ඉතාම ඉහල තැනක තියෙනවා.ඉතාම හොඳ කලාත්මක නිර්මාණ බිහිවෙනවා.

ඉතාම හොඳ සම්භාව්‍ය චිත‍්‍රපට බිහිවෙනවා. හැබැයි ඒවාට තියෙන ඉඩකඩ ලංකාව ඇතුලේ හරිම අඩුයි. මොනවාම හෝ ලිංගික දර්ශනයක් ඇතුලත් කළොත් ඒවා පෙන්වන්න දෙන්නෙ නැහැ. එවැනි වාරණයන් ලංකාව තුළ වැඩියි. ඒක අපේ රටේ සංස්කෘතියත් එක්ක අනිවාර්යෙන්ම අපි බලාපොරොත්තු වෙන්න ඕන.නමුත් සිනමාව කියන දේට මීට වඩා නිදහසක් රටක් ඇතුලේ තිබිය යුතුයි.

මොකද සිනමාව කියන්නෙ නිදහස් මාධ්‍යයක්නේ. තමන්ට සංවේදී වෙන කාරණාවක් නිර්මාණයක් විදිහට රටේ ජනතාවට පෙන්වන්න ගන්න උත්සහයක්නේ සිනමාව කියන්නේ. ඒ සඳහා නිර්මාණ කරුවාට නිදහසක් ලබා දිය යුතුයි. එහෙම නැතුව අරවාරණ දාගෙන නිදහස් සම්භාවය කලාවක් අපිට හරි අමාරුයි පවත්වාගෙන යන්න. අපේ එහෙම නිර්මාණකරුවෝ බොහෝමයක් ඉන්නවා. මේ වෙනකොටත් එවැනි නිර්මාණ වල ප‍්‍රතිඵල අපි දකිනවා." නිකිණි වැස්ස" වැනි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය වෙනවා. ඒ ගැන සතුටුයි. මීට වඩා ඒ සම්භාව්‍ය කෘති වලට ප‍්‍රචාරයක් ලබාදීම හරිම වැදගත් අවශ්‍යතාවක්. ඔවුන් රැකගන්න ඕන.ඒ සඳහා දායක වෙන නඵ නිළියන් රැකගන්න ඕන. ඔවුන්ට දායකත්වය ලබා දෙන්න ඕන. ඒ සඳහා මොනවම හෝ වැඩ පිළිවෙලක් මීට වඩා වෙන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ.

රංගශිල්පිණියක් ලෙස වර්තමාන පේ‍්‍රක්ෂකයන් ගැන ඔබට මොනවගේ ආකල්පයක්ද තියෙන්න ඔවුන් සිනමාව සහ වේදිකාව නාට්‍යය කියන ක්ෂෙත‍්‍රයන් වැළඳ ගැනිම සම්බන්ධයෙන් ?
අපේ රටේ විවිධ මානසික මට්ටම් වල පේ‍්‍රක්ෂකයන් ඉන්නවා. අපේ රටේ තියෙන කොටස් සියේ දෙසීයේ, ඒ කියන්නෙ මෙගා නාට්‍ය දීර්ඝ කොටස් සහිත නාට්‍ය. ඒවා නරඹන පේ‍්‍රක්ෂකයෝ හරිම වෙනස්. ඔවුන්ගේ බුද්ධිමට්ටම් වෙනස්. සිතුම් පැතුම් වෙනස්, අවශ්‍යතාවන් වෙනස්. ලංකාවේ සම්භාව්‍ය සිනමාව නරඹන පේ‍්‍රක්ෂකයෝ ඉතාම අතලොස්සයි ඉන්නේ. නමුත් සාමාන්‍ය සිනමාව, ඒ කියන්නේ වාණිජමයත් නොවන සම්භාවනීයත් නොවන මැද මාවතේ සිනමා නිර්මාණ වලට මේ සියලූ පේ‍්‍රක්ෂකයෝ කැමතියි.

අපි බොහෝ විට එම පේ‍්‍රක්ෂකයන් ඉලක්ක කරගෙන නිර්මාණ කරනවා නම් බොහෝවිට මම හිතනවා අපිට ඒ වගේ සිනමා කෘති වලින් හා ටෙලි නිර්මාණ වලින් බොහෝ පේ‍්‍රක්ෂක ප‍්‍රමාණයක් අමාන්ත‍්‍රණය කරන්න පුළුවන් සහ ඔවුන්ගේ රසවින්ඳනය දියුණු කරන්නත් පුඵවන්.ඒ වගේම සම්භාව්‍ය නිර්මාණයන්ට අකමැති පිරිස් ඉන්නවා නම් ඔවුන්ව මේ සම්භාව්‍ය නිර්මාණකරා ලංකරගන්න අපිට මේ නිර්මාණ හරහා පුඵවන් වෙනවා.

ඉතා උසස් සම්භාව්‍ය නිර්මාණ රසවිඳින පිරිසක් බුද්ධිමත් රසික පිරිසක් බිහිකරන්න මෙම මැදමාවතේ නිර්මාණ යොදා ගැනීමෙන් අපිට පුඵවන් කියලා මම විශ්වාස කරනවා.අතිශයින් සරල නොවුත්, අතිශයින් සංකීර්ණත් නොවුත් නිර්මාණ නරඹන පිරිස අපේ රටේ විශාලයි.

ඉතින් ඔවුන්ව පොඞ්ඩ පොඞ්ඩ ඉතා ඉහළ රසවින්ඳනයක් කරා ගෙන යන්න පුළුවන්නම් අපි සාර්ථකයි. එය කරන්න අමාරු නැහැ අපේ වගේ රටක.

මම බොහෝ විට අතිශය සරල නිර්මාණ වල රගපාන කෙනෙක් නෙමෙයි . මම ටිකක් ගුණාත්මක බවින් ඉහළ නිර්මාණ වල තමයි රගපාන්නේ. එවිට මම දන්නවා මගේ වටා ඉන්න පේ‍්‍රක්ෂකයෝ සහ ඒ නිර්මාණ විකාශය වෙනකොට හරි, මම රගපෑ සිනමා නිර්මාණයක් විකාශය වෙනකොට හරි ඔය මම කියන විදිහේ පේ‍්‍රක්ෂකයෝ විශාල පිරිසක් ඉන්නවා කියලා ලැබෙන ප‍්‍රතිචාර මගින්. ඉතිං අපිට හිතන්න තියෙන දේ තමයි මොවුන්ට අපි නිර්මාණ කළ යුතුයි.මොවුන්ව අපි එතනින් තව අඩියක් ඉදිරියට ගෙනියන්නේ කොහොමද කියන තැනට හිතලා අපි වැඩ කරන්න ඕන.

ඇත්තටම ලංකාවේ පේ‍්‍රක්‍ෂකයො බුද්ධිමත්. පොඞ්ඩක් අපි හිතලා බැලූවොත් ඔය දිර්ඝ නාට්‍ය ආපු මුල් කාලේ අතිශයින්ම විශාල ජනගහනයක් ඔය නාට්‍ය වටා එක්රොක්වෙලා හිටියා. නමුත් වර්තමානය වෙනකොට ඒ පිරිස ටිකෙන් ටික අඩුවෙලා ගිහින් තියෙනවා. ඒ කියන්නේ අපේ රටේ පේ‍්‍රක්‍ෂකයො සාමාන්‍යයෙන් බොරු දේවල් වලින් දිර්ඝ කාලීනව රවට්ටන්න බැහැ. අතිශයින්ම සරල වින්ඳනයට කැමති පේ‍්‍රක්‍ෂකයො වුනත් ටික කාලයකදි ඒ දේවල් අතහැරලා දානවා මොකද අපේ රටේ අධ්‍යාපන මට්ටම ඉතා හොඳයි ඉතා හොඳ බුද්ධිමට්ටමක් සහිත හොඳින් හිතන්න පුඵවන් නිර්මාණ හැකියාවන්ගෙන් ඉහළ තැනක සිටින පේ‍්‍රක්ෂකයන් අපේ රටේ ඉන්නවා.

අපි හිතනවා නම් මොනවම හෝ කියලා කරලා ඔවුන්ව රවට්ටන්න පුඵවන් කියන තැන ඉන්නවා නම් අපි මෝඩයි.එහෙම නැහැ. අපේ රටේ පේ‍්‍රක්ෂකයෝ හොඳ රසවින්ඳනයක් සහිත අය. අපි කළ යුත්තේ ඔවුන් තව තවත් රසවින්ඳනාත්මක පිරිසක් බවට පත් කරන්න උත්සහා කරන එකයි.

ඔබ කොහොමද දකින්නේ සහ ඔබට දැනෙන්නේ ක්ෂේත‍්‍රයට පැමිණෙන නවකයින් ගැන?
මෙහෙමයි හැමෝම කතා කළොත් නවකයන්ට දොස් කියනවා. හැබැයි මම නම් දොස් කියන්නෙ නැහැ. මොකද නවකයෝ ඉන්නවා බොහෝම දක්ෂකයි. හැබැයි ඔවුන්ට රගපාන්න ලැබෙන නිර්මාණ පිළිබඳ ප‍්‍රශ්නයක් මට තියෙනවා. මොකද බොහෝ විට නවක අය රගපාන්නේ මේ දිර්ඝ ටෙලි නාට්‍යවලනේ. ඒ ටෙලි නාට්‍ය වල ඇත්තටම හරයක් නැහැ,ගුණකයක් නැහැ, අඩුම ගානේ මුලක් ,මැදක් අගක් තියෙන කතාවක්වත් නැහැනේ.

ඉතින් එහෙම තැනක ඔවුන්ව තියලා ඔවුන්ට දොස් කියන එක වැරදියි.එහෙම නැත්නම් අපේ නිර්මාණකරුවෝ දැනගන්න ඕන මේ අළුත් දක්ෂයින් අරගෙන ඉතාම උසස් ගණයේ නිර්මාණ බිහිකරන්න. මොකද කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා බයක් නැතුව යමක් කරන්න පුළුවන් කියන්නේ ඔවුන් දක්ෂයිනේ.හැමෝටම එක කරන්න බැහැ.එවැනි පිරිසක් බිහිවෙලා ඉන්නවා කියන්නේ, ඔවුන්ගේ මොනවම හෝ දක්ෂතාවයක් තියෙනව.

දැනට බිහිවෙලා ඉන්න නවක නඵ නිළියන් ගත්තොත් ඔවුන් හරිම සුන්දරයි. ඇත්තටම සිනමාවට, වේදිකාව, ටෙලි නාට්‍යයට, සුදුසු මුහුණු බිහිවෙලා තියෙන්නේ. ඔවුන් තමන්ගේ ඇග ගැන. රුව ගැන සැලකිලිමත් වෙන පිරිසක්. සමහරු ඒකටත් බනිනවා,දොස් කියනවා. නැහැ මම කියන්නේ නඵ නිළියෝ ලස්සනට ඉන්න ඕන, සුන්දරව ඉන්න ඕන.ඒ වගේම ඔවුන් තමන්ගේ නිර්මාණ කාර්්‍යයේ දක්ෂයින් වෙන්නත් ඕන.

ඒ දක්ෂතාවයට කවුද ඔවුන්නට තෝතැන්නක් හදලා දිලා තියෙන්නේ? හොඳ උසස් ගණයේ නිර්මාණ වලට ඔවුන්ව සම්බන්ධ කරගන්නේ නැතිව මේ සබන්පෙන වගේ පිපෙන පිපෙන, තැන තැන හතු පිපෙනවා වගේ පිපෙන මොනවම හෝ ටෙලි නාට්‍යයම වලට ඔවුන්ව සම්බන්ධ කරලා ඒවා දිහා බලලා නවකයන්ට බනිනවා. මම කියන්නේ ඒක වැරදියි.

නවකයන්ව යොදාගෙන හොඳ උසස්ගණයේ රසවින්ඳනාත්මක නිර්මාණ කරලා බලන්න, ඔවුන්ට බැරිද කියලා. මං කියන්නේ නවකයන්ට පුඵවන්.

මොකද අපිත් එකපාරටම මෙතනට ආවේ නැහැනේ.අපි නවකයෝ විදිහට ඉඳලා තමයි අද මෙතැනට ඇවිත් තියෙන්නෙ.වාසනාවකට දැනට වසර දහයකට පහළොවකට උඩදි අපි නවකයෝ විදියට ක්‍ෂෙත‍්‍රයට එනකොට අපිට හොඳ නිර්මාණ තිබුණා.දැන් අයට එහෙම නැහැ.ඔවුන් ඔවුන්ගේ ජිවිකාව බවට පත්කරගෙන තිවෙනවා මෙම වෘත්තිය.ඒ නිසා ඔවුන් ඔවුන්ට ලැබෙන දෙයක් කරනවා.එයට දොස් කියන්න බැහැ කාටවත්.

අනිත් එක නවකයන්ට හැමෝම දොස් කියනවා. ගරුකරන්නේ නැහැ කියලා. මම නම් එහෙම කියන්නේ නැහැ.මොකද බොහෝ විට මම දකින දෙයක් තමයි වැඩිහිටියෝ, ප‍්‍රවීනයෝ කියන අය නවකයන්ගේ ගෞරවයට ලක්වෙන විදිහට හැසිරෙන්න වැඩකරන්න දැනගන්න ඕන.එහෙම නැතිව අපි ගෞරවය නැතිවෙන විදිහට වැඩ කරමින් ඔවුන් ගෞරව කරන්නේ නැහැ කියන එක වැරදියි.

මම බොහෝ විට අත් දකින දේ තමයි ප‍්‍රවීනයෝ තමන්ගේ ගෞරවය නැති වෙන විදිහට හැසිරෙනවා සහ වැඩකරනවා. අද තමා තමන්ටවත් ගෞරව කරන්නේ නැති තත්ත්වයකට පත්වෙලා තියෙනවනේ.තමන් තමන්ට ගෞරව කලොත් තමයි අනිත් අයට ගෞරවකරන්නේ.එතකොට තමයි අපිට අනිත් අයගෙන් ගෞරවයක් ලැබෙන්නේ.ඉතිං එහෙම නැතිව අනිත් අයට වැරදි කිය කිය ඉන්න එකම ඇත්තටම තමන්ගේ ගෞරවය නැති කර ගැනිමක්නේ.මම කියන්නේ අනිත් අයගේ හොඳ දකින්න, ඔවුන්ගේ අඩුපාඩුකම් තියෙනවා නම් ඔවුන්ට කියලා දෙන්න.ඔවුන් සමග සහයෝගයෙන් වැඩකරන්න. එවිට මේ ක්‍ෂෙත‍්‍රය ලස්සනවේවි.

කලා ලෝකයේ කලාකරුවන් අතර වගේම අධ්‍යක්‍ෂකවරුන් අතර විවිධ අන්දෝලනාත්මක සිදුවීම් වාර්තා වුණානේ මෑත වකවානුවේදී. ඔබ රංගනශිල්පිනියක් ලෙස මොනවගේ දෙයක්දඒ ගැන හිතන්නේ?
ඒකට ප‍්‍රධානම හේතුව තමයි ආත්මාර්ථකාමීත්වය. නිර්මාණකරණය කියන්නේ ආත්මාර්ථකාමී දෙයක් නෙමෙයි.අපි මෙම නිර්මාණ කරන්නේ පරාර්ථය උදෙසානේ. අපි අනිත් මිනිස්සු වෙනුවෙන්නේ නිර්මාණය කරන්නේ.

එතකොට මෙම නිර්මාණය අනෙකාගේ යහපත උදෙසා කියලා අපි කතාවට කිව්වට බොහෝ අය දැන් නිර්මාණ කරන්නේ තමන්ගේ යහපත උ‍දෙසාම පමණක් වෙලා තියෙනවා.

විශේෂයෙන් මේ සමාජය දෙකට බෙදිලා ගහගන්නවා, බැනගන්නවා,දොස්පවරගන්නවා. හැමතැනම ගේම්.එහෙම නෙමෙයි මම කියන්නේ අපි හැමෝම නිර්මාණකරුවන්. අපි මෙම ක්‍ෂෙත‍්‍රයේ එක පවුලක්. හැමෝගෙම නිර්මාණ කාර්්‍යයන්ට සහභාගි වෙන්නේ මේ පවුල් ඇතුලේ ඉන්න පිරිසමනේ. ඒක නිසා මේ පවුල ඇතුලේ මොනවම හරි ප‍්‍රශ්න තියෙනව නම් පළවෙනි කාරණය සාකච්ඡාව, දෙවැනි කාරණය අනෙකාට ඇහුම්කන් දීම,තුන්වෙනි කාරණය නම්‍යශීලීවීම මේ කිසිඳු දෙයක් නොමැතිව එකිනෙකා තමාගේ මතය හරියි කියලා හිතාගෙන වැඩකටයුතු කරනවා. එහෙම බැහැ.

මේ කලාව කියන සාමුහික ක‍්‍රියාව ඇතුලේ අපි එකිනෙකාගේ අදහස් වලට ඇහුම්කන් දීමට සහ ගෞරව කිරීමට පුරුදු වෙන්න ඕන.අපෙන් ඒක ඇත්වෙලා.ඒකට හේතුව තමයි ආත්මාර්තකාමීත්වය කියන එක. අපි නිර්මාණකරුවෝ, කලාකරුවෝ කියලා අපි හිතනවා නම්, අපි මීට වඩා සමාජය ගැන දැනුවත් වෙන්න ඕන සහ ඒ ගැන හිතන්න ඕන.

ඉතාම සරලම කාරණයේ සිට සංකීර්ණම කාරණය දක්වා මිනිසුන් බොහෝවිට ආදර්ශයට ගන්නේ කලාකරුවන්ව. අපි අදින ඇඳුමේ සිට විවාහය, දික්කාසදය කියන දේ දක්වාම සමාජය අපෙන් ආදර්ශ ගන්නවා.නඵවෙක් නිළියෙක් මොකක් හරි ෆැෂන් එකක් කලොත් සමාජය එය අනිවාර්යෙන්ම කරනවා.සංකීර්ණ කාරණා දක්වා හැම දෙයක්ම සමාජය අපෙන් ආදර්ශ ගන්නවා කියන දේ අපි දැනගෙන වැඩ කටයුතු සිදුකළ යුතුයි.

අපිව අනුගමනය කරන පිරිසක් මේ සමාජය ඇතුලේ ඉන්නවා කියන බය අපිට තියෙන්න ඕන.ඒ බය අපිට නැති වෙලා.අපි මොනව හරි ඔහේ කරනවා.

මම නම් එහෙම කරන්න කැමති නැහැ. මොකද මම හැමවෙලේම හිතනවා කලාකාරිනියක් විදිහට මේ සමාජයට මොනවම හෝ දෙයක් විය යුතුමයි කියන තැන මම ඉන්නවා. මොකද මේ සමාජයේ මිනිස්සු තමයි මට වටිනාකමක් දිලා තියෙන්නෙ.මේ සමාජයේ මිනිස්සු මාව යම් තැනකට ඔසවලා තබලා තියෙනවා. කලාකාරිනියක් ලෙස මේ සමාජය අනිත් අයට නැති වරප‍්‍රසාද ටිකක් මට දිලා තියෙනවා. ඉතින් ඒ සමාජයට අපි ගරුකලයුතුයි. ආදර්ශයත් විය යුතුයි.

ඉතිං එතන ඉන්නවා නම් , එවැනි වගකිමක් දැනෙනව නම් ප‍්‍රශ්න ඇති කරගන්නේ නැහැ.එවැනි දේ ඇති කරගන්න බයවෙනවා. එවැනි වගකිමක් නැති නිසා තමයි සමාජයට තමන්ව නිරාවරණය වෙන විදිහට යම් යම් දේවල් කරන්නේ.මම කියන්නේ මෙහෙමයි ප‍්‍රශ්න නැත්තේ නැහැ.

ප‍්‍රශ්න තියෙනවා.පවුලක් ගත්තත් එහෙමනේ. නමුත් අපි පවුලේ දේවල් එලියට දෙන්නෙ නැහැනේ.ඉතිං කලාව තුළත් අපි පවුලක් ඒ තුළ දේවල් එලියට දෙන්න අපිට අවශ්‍යය නැහැනේ නේද ?අඩුගානේ ඒ දේවල් නින්දා සහගත ලෙස කලාව නිරාවරණය කරන එකයි වැරදියි. එහෙමවත් නොකර ඉන්න පුළුවන්නම් හොඳයි. ප‍්‍රශ්න ඇති කරනොගනම ඉන්න බැරිනම් ඒවා ඇති කරගත්තට කමක් නැහැ. හැබැයි ඒවා එළියට නිරාවරණය නොකර ඉන්න දක්ෂතාවයවත් අපිට තියෙන්න ඕන. එහෙමවත් හැකියාවක් නැත්නම් ගැන බොහෝම කණගාටුයි.

මේ වෙනකොට වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය කියන ක්ෂේත‍්‍ර තුන පැමිණ තිබෙන තැන ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඇත්තටම හොඳයි.වේදිකා නිර්මාණ කොළඹට සිමාවෙලා කියන එක නම් මේ කාලයට සාධාරණ නැහැ.මොකද මම දන්නවා මම රගපාන වේදිකා නාට්‍ය පවා ඈත ප‍්‍රදේශවල රගදක්වනවා කියලා.ඒක නිසා කොළඹට විතරක් සිමාවෙලා කියලා අපට කියන්න බැහැ. වේදිකා නිර්මාන ඉතා විශාල වශයෙන් බිහිවෙනවා. වර්තමානයේ පේ‍්‍රක්ෂකයෝ විශාල පිරිසක් වේදිකා නාට්‍ය වෙත යොමු වෙලා ඉන්නවා.

පේ‍්‍රක්ෂකාගාරයට ගිහින් බලන්න එතකොට තේරේනවා මේ තත්ත්වයේ වෙනස .වර්තමානයේ හොඳ රසික පිරිසක් ඉන්නවා. අලූත් නිර්මාණ බිහිවෙනවා. පරණ නිර්මාණ නැවතත් නවීකරණය වෙනවා. අපිට විශාල නිදහසක් ලැබිලා තියෙනවා. ආර්ථික ප‍්‍රශ්න තියෙනවා. කෙසේ වෙතත් වේදිකා නාට්‍ය කරුවන් නිර්මාණ කළේ ආර්ථික ප‍්‍රශ්න මැද්දේ, අදත් එහෙමයි. මොකද වේදිකාව කියන්නේ ගොඩක් විශාල ලෙස මුදල් උපයන්න පුළුවන් මාධ්‍යයක් නෙමෙයි. වේදිකාවට අනුග‍්‍රහයකන් අඩුයි.නමුත් මේ හැමදෙයක්ම මැද්දේ අද වේදිකා නාට්‍ය හොඳ තැනකට පැමිණ තියෙනවාග හොඳ නිර්මාණකරුවන් පිරිසක් වගේම හොඳ පේ‍්‍රක්ෂකපිරිසක් ශිල්පින් පිරිසකුත් බිහිවෙලා ඉන්නවා.

ටෙලි නාට්‍යයේ පැත්තෙන් ගත්තොත් ගුණාත්මක ටෙලි නාට්‍යය බොහෝ විට බිහිවෙන්නෙම නැති තරම්.ඒක අපිට පේනවා .අවුරුද්දකට එකක් දෙකක් තමයි අපිට ගුණාත්මාක ඉහළ රසවින්ඳනයක් සහිත ටෙලි නාට්‍යයක් බලන්න පුඵවන්. රැල්ලට යන ටෙලි නාට්‍ය තමයි තියෙන්නේ.නමුත් මම හිතනවා ඒක එක රැලි එක එක කාලවලට එනවා යනවා. ඔය කිසිම අර්ථයක් නැති අවරගණයේ නිර්මාණ රැල්ලත් පේ‍්‍රක්ෂයෝ ප‍්‍රතික්ෂේප කරයි. එවිට ඉතිං අපිට හොඳ ගුණාත්මක දේ වලට යොමු වෙන්න වෙනවා.තියෙන ප‍්‍රශ්නය නම් ඒ සඳහා යන බරපැන තමයි දැන් නාට්‍ය කලාව ලාභ ලබන්න පුඵවන් කියලා.බොහෝ නිෂ්පාදකයන් හඳුනාගෙන තියෙන නිසා ඒ සඳහාත් ඉදිරියේදි බාධාවක් ඇති වෙන එකක් නැහැ.

සිනමාව තුළ හොඳ සම්භාව්‍ය නිර්මාණ බිහිවෙන ප‍්‍රවනතාවය ඉතා ඉහළ මට්ටමක තියෙනවා කියලා පේනවා. ඒ වගේම තරුණ නිර්මාණකරුවන් බිහිවෙනවා.ඔවුන් හොඳ නිර්මාණ වලට යනවා කිසිඳු බයක් නැතිව ඉතිං ඒ ගැන සංතෝෂ වෙන්න ඕන.ඉතින් මම හිතනවා ලාකංවේ කලාව වේදිකාව සිනමාව ටෙලි නාට්‍ය ඉතා හොඳ තැනකට ඉදිරියේදි තියෙයි කියලා.

වෘත්තියෙන් මෙන්ම ජිවිතේ යම් මට්ටමකට පැමිණ සිටින ඔබ කොහොමද දකින්නේ ලංකාවේ සමාජය සහ දේශපාලනය ?
සමාජය ගැන ඇත්තටම හරියටම තීරණයක් ගන්න බැහැ. මොකද මේ සමාජයේ සිටින මිනිසුන් මොහොතින් මොහොත වෙනස් වෙන අය. ඒ කියන්නේ කෙනෙකුගේ දුකක් වෙනුවෙන් පිහිට වෙන කෙනාම මොහොතකදි ඊට හාත්පසින්නම වෙනස් ස්වරූපයකින් හැසිරෙන්න පුඵවන්. ජිවිතයක් රැකගන්න මහන්සිවෙන තරමටම දැන් සමාජයේ කෙනෙකුට ජිවිතයක් විනාශ කරන්නත් පුඵවන්. ඒක නුලක යන දෙයක්.

එක පැත්තකින් කෙනෙක් විනාශ කරන විට අනෙක් පැත්තෙන් කෙනෙක්ව ආරක්ෂා කරනවා. එතැන්ට සමාජය හැදිලා තියෙනවා.විශේෂයෙන්ම ලංකාව ඇතුලේ ලැබිලා තියෙන ඒ මාධ්‍ය නිදහස, ඒ කියන්නේ මාධ්‍ය කරුවන්ට ලැබිලා තියෙන නිදහස නෙමෙයි. ටෙලිවිෂන් මාධ්‍ය කලාවේ සමාජයට බලන්න තියෙන දේවල් එක්ක අපේ තියෙන හික්මීම, සදාචාරසම්පන්න භබාවයන් ටිකෙන් ටික ඈත්වෙලා යනවා කියලා මට හිතෙනවා.

විශේෂයෙන්ම ටෙලි විෂන් මාධ්‍ය මිට වඩා හිතුවොත් සමාජයට යහපත් දෙයක් දිය යුතුයි කියලා හොඳයි. නැත්නම් අපෙන් පස්සෙ එන පරම්පරාවන් දකින්නේ ඔය ටෙලිවිෂන් වල තියෙන දේවල් අන්තර්ජාල ගනුදෙනු පවා ඔවුන් තමා මේ දේවල් වලට බොහෝ විට ගොදුරු වෙන්නෙ.මොකද ඔවුන් ඒවායේ තියෙන දේවල් එලෙසම ග‍්‍රහනය කරගන්නා බැවින් මං හිතනවා ගොඩක් වෙලාවට පත්තරයක් ගත්තොත් කියවන්න තියෙන්නෙ ගහගන්න, දේවල් මරාගන්න දේවල්.

ඊට අමතරව සිනමා පත්තරයකින් බොහෝ දේවල් කරන්න පුඵවන්. ඒත් අද කෝ සිනමා පත්තරයක් ලංකාවේ. ඒවායේ මොනවාද කියවන්න තියෙන්නේ?ඉතිං විද්්‍යුත් මාධ්‍ය හා මුද්‍රිත මාධ්‍ය මීට වඩා මේ ගැන හිතනවානම් හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ.සමාජයකට දැඩිම බලපෑමක් කරන්න පුඵවන් මාධ්‍යටනේ.ඒක නිසා මීට වඩා පොඞ්ඩක් මේ ගැන හිතනවා නම් හොඳයි.

අපේ රටේ ආගම් කිහිපයක් තියෙනවා. නමුත් කවුරුත් අපේ ආගම අනුව ජිවත් විය යුතුයි කියලා හිතන්නේ නැහැ.ඒ වෙනුවට තියෙන්නෙ ප‍්‍රදර්ශනාත්මක ලෙස ආගම ඇදහිමක් පමණයි. ආගම අදහන්න යන ගමනුත් අනිත් අයට බැන බැන තමයි යන්නේ.හදවතින් ආගම ඇදහිම අද සිදු කරන්නේ කියෙන් කීදෙනාද. ඉතිං මේ වගේ බොහෝ හේතු තියෙනවා.

ලංකාවේ දේශපාලනය ගැන බොහෝ ප‍්‍රශ්නත් තියෙනවා. ඒ වගේම අපි දකුණු ආසියාවේ රටවල් එක්ක සංසන්ධනය කරලා බැලූවොතින් දකුණු අසියාවේ රටවල් වලට නැති නිදහසක් අපේ රටේ දේශපාලනය තුළ තියෙනවා. කවුරු නැහැ කිව්වත් ඒක තමයි ඇත්ත.බංගලාදේශය, ඉන්දියාව වැනි රටවල් එක්ක ගත්තහම අපේ රටේ අයට හොඳ දේශපාලන බුද්ධියක් තියෙනවා, නිදහසක් තියෙනවා. අපේ රටේ තියෙන සම්පත්, අපේ රටේ ඉන්න පිරිස්, අපේ සංස්කෘතින් මේ දේවල් එක්ක අපිට මීට වඩා හොඳ දේශපාලන නිදහසක් අපේ රටේ තිබිය යුතුයි. එහෙම නිදහසක් ඇති වුනොතින් දේශපානය තුළින් මිනිසුන්ට මීට වඩා බලපෑමක් ඇති කරන්න පුඵවන්. මේ මිනිස්සු තුළ තියෙන වංචා, දුෂණ සහ එකිනෙකාට ගරුනොකිරිම, ආදරය නොකිරිම කියන දේවලට දේශපාලනයට ඍජුවම මැදිහත් වෙන්න පුඵවන්.එවිට මීට වඩා මිනිසුන් යහපත් වේවි.මෙම මාධ්‍ය,දේශපාලනය, කලාව, ආගම කියන සියලූ දේවල් එකට එකතුවෙලා තමයි මේ ගමන යන්න ඕන. එහෙම නැතුව හරිම අමාරුයි. සමාජය පිරිහෙනවා මිසක මනසින් දියුණූ සමාජයක් කියන එක අපිට බිහි කරගන්න පුළුවන්ද කියන එක ප‍්‍රශ්නයක්.

මේ සියලූම කරුණු කාරණා එක්ක ජිවිතේ ඉදිරියට යන ජයනි සේනානායක මොනවගේ කෙනෙක්ද?
මම රංගනය මගේ වෘත්තිය කරගත්ත කෙනෙක්. එතකොට මම දන්නවා ඒ ඇතුළේ මට තියෙන වගකිම්. මම වේදිකාවවට නැගලා රංගනයක් කරනවා නම් ඒ වගකිම මම අරගන්න ඕන. මට මොනයම් හෝ දෙයක් කරලා පෙන්වන්න බැහැ. මං වෙනුවෙන් පේ‍්‍රක්ෂකාගාරයට එන මිනිස්සුන්ට ටෙලිවිෂන් තිරය ඇතුළේ මොනව හරි කරනව නම් මම එහි වගකිම අරගන්න ඕනෙ. මට මොනවම හරි කියලා රසිකයන්ව රවට්ටන්න බැහැ.ඊට වඩා කලාකාරිනියක් විදිහට නිළියක් විදිහට මට වගකීමක් තියෙනවා. මේ සමාජය වෙනුවෙන් මම හැමවෙලේම එක හිතනවා.ඉතිං ඒක නිසා මම කොහොමත් මගේ නිර්මාණ කාර්ය්‍ය ඇතුළේ බොහෝම හිමින් යන කෙනෙක්. ඒ වගේම හොඳ තෝරා බේරාගැනීමක් සහ හැමවේලේම නිර්මාණයක ගුණාත්මකභාවය ගැන හිතන කෙනෙක්. ඒ වගේම මම කිසිවෙලේක කිසිම කෙනෙක් එක්ක ප‍්‍රශ්න ඇති කරගන්න කෙනෙක් නෙමෙයි.කලාව තෝරගන්නේ අපි ප‍්‍රශ්න නැතිව ජිවත් වෙන්නනේ. කලාව සුන්දරයි, කලාව මානව හිතවාදීයි කියලනේ අපි කලාව තෝර ගන්නේ. මම දන්නේ නැහැ මම තෝරගන්නේ මානවහිතවාදී සහ කලාව සොඳුරුයි එයින් සමාජයට සේවයක් කලහැකියි කියන තැන ඉඳන්. වර්තමානයේ කලාවට එන අය එහෙම නැහැ.ඔවුන් කලාවට එන්නේ ජිවත් වීම උදෙසාමනේ.නමුත් අපි බොහෝ විට එහෙම හිතුව අපිට යුතුකමක් තියෙනවා,වගකිමක් තියෙනවා.ඉතිං ඒ දේවල් හඳුනාගෙන මගේ ගමන බොහෝම හෙමින් සියලූම දෙනා සමග සහයෝගයෙන් ඉදිරියට යන එක තමයි මම කරන්නේ. ඇත්තම කිව්වොත් මගේ ජිවිතේ ප‍්‍රශ්න ඇත්තේම නැහැ.නිළියක් විදිහට මට හොඳ ස්ථාවරත්වයක් ලැබිලා තියෙනවා, වටිනාකමක් ලැබිලා තියෙනවා,ගෞරවයක් ලැබිලා තියෙනවා. ඉතිං ඒ දේවල් මං වටහාගෙන මං ඉතා සතුටින් සරලව මේ ගමන යනවා.

ඔබ මේ වෙනකොට ජිවිතේ තෘප්තිමත්ද?
ඔව් ඉතාම තෘප්තිමත්. මම මගේ ආරම්භය පටන් ගත්තේම ඉතාම තෘප්තිමත් භායකින් යුතුව. ඉතිං එදා ඉඳන් අද වෙනකත් මම ආපු ගමන ගැන මම අතිශයින්ම තෘප්තිමත්.ඒ වගේම මම හිතනවා මගේ ඉදිරියත් මට තෘප්තිමත් වෙන්න පුඵවන් නිළියක් විදිහට, දියණියක් විදිහට,බිරිඳක් විදිහට සහ මේ සමාජයේ ලංකාවේ ගැහැනියක් විදිහටත් මම තෘප්තිමත්.

ඔබගේ ඉදිරි කටයුතු?
චිත‍්‍රපටදෙක තුනක් තියෙනවා ආරම්භ කරන්න. තාම පටන් ගත්තේ නැහැ. ඒවට මට වේලාව තිබුණොත් ඒ දෙක තුනටම හෝ එකකට සම්බන් වෙනවා. ටෙලි නිර්මානත් කිහිපයක්ම ලැබිලා තියෙනවා. මගේ කාල වේලාව අනුව සහ තෝරාබේරාගැනිමක් අනුව එයිනුත් එකකට හෝ දෙකකට මම සම්බන්ධ වෙයි. ඊට අමතරව මගේ පෞද්ගලික වැඩ කටයුතු කිහිපයකුත් තියෙනවා ඉෂ්ඨසිද්ධ කරගන්න.

සාකච්ජා සටහන සහ ජායාරූප-හර්ෂණී පෙරේරා

Image Gallery

{gallery}1621{/gallery}
Read 975 times
Body
Background Color
Text Color
Background Image