Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Notice
  • Simple Image Gallery Pro Notice: Joomla!'s /cache folder is not writable. Please correct this folder's permissions, clear your site's cache and retry.
Friday, 07 June 2013 09:29

පේ‍්‍රක්‍ෂකයො හැමදාම රැවටිලා ඉන්නේ

Rate this item
(0 votes)
පේ‍්‍රක්‍ෂකයො හැමදාම රැවටිලා ඉන්නේ

අරුණ ජයවර්ධන මෙරට රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන්ට ආගන්තුක නොවන්නෙකි එමෙන්ම ඔහු මීට පෙර සිරස මාධ්‍ය ජාලයේ රැකියාව කරද්දී 'ඩාන්සින් ස්ටාර් චිත‍්‍රපටය සඳහා සිය නිර්මාණ කුශලතාව ලබා සිනමා නිර්මාණ කරුවකු වන්නට පළමු පියවර තැබුවා වුවද නිර්මාණ ශිල්පියෙකුට වඩා වැදගත් වන්නේ තම අනන්‍යතාව ඉස්මතු කළ හැකි නිර්මාන තම සිතැගි පරිදි නිර්මාණය කිරීමයි.

අරුණ ඒ නිසාම සිය ප‍්‍රථම සිනමා නිර්මාණය ලෙස පිලිගන්නේ 'නිකිණි වැස්ස' සිනමා නිර්මාණයයි. 'නිකිණි වැස්ස' නව සිනමා කරුවකු පිලිබඳව තබාගත හැකි යහපත් බලාපොරොත්තුවකි. 'නිකිණි වැස්ස' වර්තමාන සිනමා රැල්ලෙන් ඔබ්බට ගිය නිර්මාණයකි.

'නිකිණි වැස්ස' මෙම මස 07වන දින සිට රීගල් ඇතුළු සිනමා හල් රැසක ප‍්‍රදර්ශණය ආරම්භ වේ. 'නිකිණි වැස්ස' තිරගතවීම අරභයා එහි අධ්‍යක්‍ෂ අරුණ ජයවර්ධණ සමග කළ සාකච්ජාවකි මේ.

අරුණ උපාධිධාරියෙක්, රූපවාහිනී තාක්‍ෂණය හදාරන්න හිතුවෙ ඇයි?
මම 1996 ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හදාරනව. ඒ එක්කම තමයි මට හිතෙන්නේ මේ එක්කම උපාධියත් ගත්තනම් හොඳයි කියල. ඒ අනුව කැළණියි කැම්පස් එකට ඇතුළු වෙනව. නිස්කෝ පාඨමාලාවෙන් පස්සේ මම ශිරාන් ටෙලිසිනේ ආයතනයේ කාර්මික ශිල්පියෙක් විදිහට සේවය කරනව. විශේෂයෙන් පටිගතකිරීමේ සහයක සහ ආලෝකකරණ ශිල්පියෙක් විදිහට. මට මතකයි මම විශ්ව විද්‍යාලයේ අවසන් විභාගය ලියන කොට ප‍්‍රසන්න ජයකොඩිගේ ඉමදිය මංකඩ ටෙලිනාට්‍යයේ පටිගත කිරීමේ සහයක විදිහට වැඩකරනව. ඒත් මම වැඩකළ ආයතනයෙන් මට විභාගයට යන්න දෙන්නේ නෑ, මම යනව කියල ප‍්‍රසන්න ජයකොඩිටත් කියල ඒ ටෙලිනාට්‍යයෙනුත්, ආයතනයෙනුත් ඉවත්වෙලා විභාගයට පෙනී ඉන්නව. ඒ විදිහට මම උපාධිය ගන්නව, ඊට පස්සේ තමයි සිරස රූපවාහිනී ආයතනයක් එක්ක සම්බන්ධ වෙන්නෙ.

ඔබ සහාය අධ්‍යක්‍ෂවරයෙක්, නිෂ්පාදන කළමනාකරුවෙක්, පිටපත් රචකයෙක්, ගීපද රචකයෙක්, වාර්ථා සහ සංගීත වැඩසටහන් ශිල්පියෙක්, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයෙක් වැනි රූපවාහිනියේ විශාල පරාසයක් තුළ කටයුතු කරනවා. මේ තුළ යම් ඉලක්කයක් තිබුනද?
ඔව්, ඇත්තටම රූපවාහිනී ක්‍ෂෙත‍්‍රයට සම්භන්ධ වෙලා අවුරුදු පහළවක් විතර වෙනව. ඒ තුළ කොපමණ කල් හිටියත් මොන මොන විදිහේ හරඹ සහ ශිල්ප පෙන්නුවත් සම්මාන පිට සම්මාන ගත්තත් අපට බලාපොරොත්තුවක් සහ සිහිනයක් තියෙනව කවදා හෝ චිත‍්‍රපටයක් කරනවා කියල. අපේ රුපවාහිනී ජීවිතයේ අපි කැමතිම දේ තමයි කිසියම් චිත‍්‍රපටයක මාධ්‍ය දර්ශනයකට සහභාගී වීම. මාධ්‍ය දර්ශනය නරඹා ආපසු එන සෑම විටකම අපි කතාවෙන දෙයක් තමයි අපි කවදාද චිත‍්‍රපටයක් කරන්නේ කියල. ඒ නිසාම රූපවාහිනී මාධ්‍ය තුළ වැඩකරන අතර ජාතික චිත‍්‍රපට සංස්ථාවේ චිත‍්‍රපටකරණය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව හදාරනව. ඒ විදිහට මම මගේ හීනය සහ ඉලක්කය විදිහට ‘‘නිකිණි වැස්ස’’ චිත‍්‍රපටය කරනව.

අරුණගේ මුල්ම සිනමා දායකත්වය ලබන්නේ ‘‘ඩාන්සින් ස්ටාර්’’ චිත‍්‍රපටය. එහි ඔබේ දායකත්වය මොනවගේද?
‘‘ඩාන්සින් ස්ටාර්’’ මම කැමති තිරපිටපතක් නෙවෙයි. මට ඒකට සම්බන්ධ වෙන්න සිද්ධ වෙන්නෙ රැකියාවේ කොටසක් විදිහට. ඒ මොහොතේ තිබුනු තත්වය අනුව එහි මූළිකත්වය අරගෙන වැඩකරන්න මට සිදු උනා. ‘‘ඩාන්සින් ස්ටාර්’’ මම කැමති සිනමාව නොවුනත් රැකියාවේ වගකීමක් විදිහට මගේ තිබුනු උපරිම හැකියාවෙන් මම එය කරල දුන්න.

ජනපි‍්‍රය සහ වානිජ අරමුණින් නිර්මාණ කරන රූපවාහිනී නාළිකා තුළ සිටිමින් ‘‘නිකිණි වැස්ස’’ වැනි චිත‍්‍රපටයකට අත ගැසුවේ ඇයි?
සිනමාව කියන විෂය ඉගෙනගන්න හරිහමන් පාසලක්, ආයතනයක් නැති රටක තමයි අපි ජීවත් වෙන්නේ. ඉතිං, අපි සිනමාව ඉගෙනගන්නෙ චිත‍්‍රපට නිර්මාණ බලල, එහෙමත් නැත්නම් ප‍්‍රවීන ශිල්පීන් සමග කතාබහකරල ඔවුන්ගේ ඇසුරෙන්. ධර්මසේන පතිරාජ, ධර්මසිරී බණ්ඩාරනායක, ප‍්‍රසන්න විතානගේ, අශෝක හඳගම වගේ ප‍්‍රවීනයන්ගේ නිර්මාණ බලල අවස්ථාව ලැබෙන හැම මොහොතෙම ඔවුන් සමග කතාකරල තමයි අපි ඉගෙන ගන්නේ. මම කැමතියි සිනමාව කියන විෂය ඇතුලේ ජීවත්වෙන්න. 'නිකිණි වැස්ස' මගේ පළමු සිනමා නිර්මාණය. මම හදාරපු, මම විශ්වාස කරන සිනමාව තමයි මම ‘‘නිකිණි වැස්ස’’ තුළින් කරන්න උත්සාහ ගත්තේ.

චිත‍්‍රපටයේ ‘‘නිකිණ වැස්ස’’ නමත් සම`ග ඔබ ‘මහ පොළොවට අහිමි වැහි බිඳු යන්න යොදනවා. මේ වචන තුළින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?
චිත‍්‍රපටයට පාදක වෙන්නේ අම්පාර වගේ දුෂ්කර වියලි කලාපයක ජීවත් වෙන චරිත. ඒ මිනිස්සුන්ට අවුරුද්දේ එකපාරක් හෝ දෙපාරක් පමණයි වැස්ස ලැබෙන්නේ. ඒ වැටෙන වැස්ස ඔවුන්ට ආශිර්වාදයක්. ඉතිං මේ අය නිතරම ඉන්නේ බලාපොරොත්තුවක් එක්ක. ඒ බලාපොරොත්තුව තමයි වැස්ස. වැස්ස තමයි ඒ ගොල්ලන්ට හැම දේම ගෙනත් දෙන්නේ. නමුත් ඔවුන්ට නිකිණි මාසේ වැටෙන මේ වැස්ස කිසිවක් දෙන්නේ නෑ. බලාපාරෙත්තුවක් විතරයි දෙන්නෙ. මොකද මේ නිකිණි වැස්ස පොළොවට වැටෙන්නේ නෑ. සුළගත් සමග විසිරිලා යනවා. මේ චිත‍්‍රපටයේ එන ජීවිතත් එහෙමයි. සඵල නොවෙන නමුත් සඵල වෙනවා සේ පෙනෙන බලාපොරොත්තු ගොඩාක් එක්ක මියැදිලා යනවා.

ඓතිහාසික මනෝභාවය අධිනිශ්චය වූ සිනමාවක් තුළ ‘‘නිකිණි වැස්ස’’ ට කුමක් වෙයිද?
අපි සිනමාව කියල විශ්වාස කරන දෙයක් තියෙනව. අනික විවිධ අය විවිධ තේමාවන් එක්ක චිත‍්‍රපට කරනව. මම චිත‍්‍රපටයක් කරන්නේ තව කෙනෙක්ගේ එකකට සාපේක්‍ෂව මගේ එක හොඳ විය යුතුයි කියන අර්ථයෙන් නෙවෙයි. ලංකාවේ පේ‍්‍රක්‍ෂකයො හැමදාම රැවටිලා ඉන්නේ. හොඳ සිනමා කෘතියක් රසවිදින්න ඒගොල්ලන්ව පුරුදු පුහුණුකරල නෑ. සිනමාව කියල ඔවුන්ට දෙන මොකක් හරි එකක් තමයි ඔවුන් ගන්නේ.

සිනමාව කියවීමේ සංස්කෘතියක් මේ තුළ හැදිල නෑ. කුමන ප‍්‍රශ්න මැද හෝ චිත‍්‍රපටයක් කරල කව්රුන් හෝ අධ්‍යක්‍ෂවරයෙක් ජාත්‍යන්තරව අපේ සිනමාවට කීර්තියක් ගේනව. ඒ තත්වය පහුගිය කාලේ පුරාවටම අපි දැක්ක. මටත් ඒක කරන්න පුළුවන් උනා. මගෙන් ඉදිරියටත් ඒක සිද්ද වෙයි. මම දන්නවා මමත් ඇතුළු කීප දෙනෙක් උත්සාහ ගන්නවා සිනමාව කියන්නේ අධ්‍යනය කළ යුතු, සිනමා නිර්මාණයක් යනු රසවින්දනයෙන් එහා ගොස් කියවියයුතු මාධ්‍යක් බවට පත් කරන්න. අපට කලින් පරම්පරාවේ කීපදෙනෙකුත් මේ උත්සාහයේ නිරතවෙලා හිටියා.

ලාංකීය සිනමාව කර්මාන්තයක්ද? තනි තනි පුද්ගලයා විසින් කරනා හුදකලා නිර්මාණ කාර්යයක්ද?
නෑ, සිනමාව කර්මාන්තයක්. ලොකු වියදමක් කරලා කව්රුත් කැමති වෙන්නේ නෑ පාඩු ලබන්න. නමුත් සල්ලි හම්බ කරන්න කියල චිත‍්‍රපට කරල හරියන්නේ නෑ. මම විශ්වාස කරන්නේ මේක කරමාන්තයක් බවට පත් කරන්න නම් පේ‍්‍රක්‍ෂකයාට උසස් රසවින්දනයක් ලබාදෙන්න පුළුවන් නිර්මාණ කරන්න පෙළඹෙන්න ඕනේ. ලංකාවේ පුරුදුවෙලා ඉන්නේ ඒ ඒ කාලෙට එන විවිධ රැලිවලට සාපේක්‍ෂව නිර්මාණ කරන්න. මම හිතන්නේ මේක කර්මාන්තයක් බවට පත් කරන්න නම් සමස්ත සිනමා ක්‍ෂෙත‍්‍රය ම වෙනසකට ලක්විය යුතුයි කියල.

ඔබ ඇතු`ඵ තරුණ සිනමා කරුවන්ගේ අනාගතය කෙබ`දු වෙයිද?
ඔව්, තරුණ සිනමාකරුවන් කීපදෙනෙක් මතුවෙමින් හොඳ නිර්මාණ කිරීමේ උත්සාහයක නිරතවෙමින් ඉන්නව. චිත‍්‍රපට කියවන, අධ්‍යනය කරන, පිරිසක් මතුවෙමින් ඉන්නව. මම විශ්වාස කරන්නේ මැද මාවත, ජනපි‍්‍රය, වාණිජ, සම්භාව්‍ය කියල චිත‍්‍රපට වර්ගීකරනය කරන්න බෑ කියල. චිත‍්‍රපටයක් නම් සිනමාත්මක ගුණයක් සහිත විය යුතුයි. ලංකාවේ දුවවන්න ඔනෙ කියල ඒ දුවන විදිහට චිත‍්‍රපට කරන්න බෑනේ. මේ තියෙන දේශපාලන, සමාජ, ආර්ථික ක‍්‍රමවේදය තුළ මොන බාධක තිබ්බත් දැනුවත්ව නිර්මාණ කරන සහ ඒවා කියවන පිරිසක් බිහිවෙයි කියල මම හිතනව.

‘‘නිකිණ වැස්ස’’ තිරගත වෙනවා. ඔබ සහ ශිල්පීන් ඒ සඳහා ජාත්‍යන්තර ඇගයුමට ලක් උනා. මෙතැනින් එහාට ඔබේ බලාපොරොත්තුව මොකක්ද?
මම මගේ අවසාන පරමාර්ථයට ඇවිල්ල ඉවරයි. මම මෙතනින් නවතින්නේ නෑ. මේ වෙනකොට මම මගේ ඊලග චිත‍්‍රපටයට සූදානම් වෙනව. මම වගේම බොහෝ තරුණයන් මේ වෙනකොට චිත‍්‍රපට කරනව. ඒ නිර්මාණවලට මේ රටේ තැනක් නොලැබුනත් මේ කොදෙව්වෙන් එහා ජාත්‍යන්තරව කොහේ හෝ තැනක ඒවාට ඇගයුමක් ලැබෙයි කියා විශ්වාස කරනවා. අපේ ගමන කොහොමත් අපි යනවා. ලංකාවේ පේ‍්‍රක්‍ෂකයෝ කවදා හෝ සිනමාව හරිහැටි තේරුම් ගනීවි කියන බලාපොරොත්තුව මට තියෙනව.

සංවාද සටහන- අජන්ත අලහකොන්

Image Gallery

{gallery}1537{/gallery}
Read 1578 times
Body
Background Color
Text Color
Background Image