Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Saturday, 15 June 2013 12:14

මේරි යුකාරි සමඟ 'සැඳෑ සක්මනක්'

Rate this item
(0 votes)
මේරි යුකාරි සමඟ 'සැඳෑ සක්මනක්'

ඔබගේ ජීවිතයෙහි ඉතිරි කොටසල පාළු හුදෙකලා දූපතක ගතකිරීමට නියමිතව ඇතැයි සිතන්න. එහි දී කියැවීම සඳහා පොත් 10ක් තෝරා ගැනීමට ඔබට අවසර ඇත.

ජීවිත කාලය පුරා කියැවූ හෝ ඉදිරියේ දී කියැවීමට ප්‍රිය කරන පොත් අතුරින් දහයක් තෝරා ගැනීම අසීරු කරුණක් විය හැකි ය. එහෙත් එය කළ යුතු වෙයි. ඔබ මෙතැන් සිට තවත් අවුරුදු සියයක් ජීවත් වුවත්,ඔබට නැවත නැවතත් කියැවීමට සිදුවන්නේ එම පොත් දහයම බැවිනි.

නැවත නැවතත් කියැවිය හැකි පොත් බිහිවන්නේ කලාතුරකිනි. එය එකිනෙකාගේ රුචි අරුචිකම් අනුව ද තීරණය වෙයි.ගණිතඥයකු කියැවීමට ප්‍රිය කරන පොත්,චිත්‍ර ශිල්පියකුට ප්‍රිය නොවිය හැකි ය.රහස් පරීක්ෂක කතා කියවන්නට රුචි කරන්නකු ප්‍රේම කතා රුචි නොකරනු ඇත.

මෑතක දී මට කියැවීමට ලැබුණු මේරි යුකාරි වෝටර්ස් නමැති ලේඛිකාවකගේ The Laws of Evening (සැදැවේ නියාම) නමැති කෙටි කතා සංග්‍රහය මා තුළ විමතියක් ඇති කරන්නට සමත් විය. ඊට බලපෑ හේතු දෙකකි. පළමුවැන්න ඊට පෙර නමින්වත් නොදැන සිටි අප්‍රකට ලේඛිකාවක කෙටි කතා මාධ්‍ය තුළ දක්වන ප්‍රතිභාවය. දෙවැන්න,ඇගේ සෑම කෙටිකතාවක් ම නැවත නැවතත් කියැවීමට සිතීම ය. ඉහත කියූ පාළු දූපතට යාමේ ඉරණම මට අත්වීනම් මේරි යුකාරිගේ "The Laws of Evening ” මගේ ගමන් මල්ලට බහා ගන්නවාට කිසිදු සැකයක් නැත.

ජපානයේ දී උපත ලබන මේරි යුකාරිගේ මව, කියෝතෝවේ ජපන් කතකි. පියාල අයිරිෂ් අමෙරිකානුවෙකි.වයස අවුරුදු 9 දී මව්පියන් සමඟ අමෙරිකාවේ පදිංචියට යාමට ඇයට සිදුවෙයි.

රූපයෙන්, මවට වඩා පියාට ළංවන බැවින් ජපානයේ ගත කළ බාල කාලයේ දී ඇය ළමයින් අතර අමුතු ළමයකු බවට පත්වෙයි.සැවොම ඇය දෙස කුහුලින් බලති. එහෙත් අමෙරිකාවට ගිය පසු මේරි සාමාන්‍ය අමෙරිකානු ගැහැනු ළමයකු බවට පත්වෙයි.

ගතින් දුරස් වූව ද, මේරි සිතින් ජපානය හා සමීපව සිටියා ය.ඇය තම මිත්තණියට බොහෝ ඇලුම් කළා ය. ඒ නිසාම මවගේ මරණයෙන් පසුව සෑම වසරකම ජපානයට ගිය මේරි, මිත්තණියගේ දුක සැප සොයා බැලුවා ය.

අමෙරිකාවේ සිට ඉංග්‍රීසියෙන් ලියුව ද මේරි යුකාරිගේ කෙටි කතා,කිමෝනෝවකින් සැරසී සිටී.

ඇගේ සියලුම කෙටිකතාවන්ට පසුබිම්ව ඇත්තේ ඇය උපදින්නට පෙර සිදුවූ දෙවෙනි ලෝක මහා සංග්‍රාම අවධිය හෝ ඊට පසුකාලීන ජපන් සමාජයයි.

මගේ මවිතයට හේතු වූ තවත් කාරණයක් මෙහි දී මතකයට නැඟෙයි. මේරි යුකාරි වැඩිපුර පතපොත කියැවූ කෙනෙක් නොවේ.සිය පියාගේ ව්‍යාපාර කටයුතු බලා කියාගත් ඇය වෘත්තියෙන්, ගණකාධිකාරිනියක වූ බැවින්, සාහිත්‍ය සේවනයෙහි යෙදෙන්නට අවකාශ නොවී ය. එහෙත් ඇයට අනුන්ට කියන්නට බොහෝ දේ තිබුණි. ඇගේ කෙටිකතා ලියැවෙන්නේ නිරායාසයෙනි.

Seed "බීජ* නමැති කෙටි කතාවේ දී මේරි යුකාරි අපට හඳුන්වා දෙන්නේ නකසාවා නමැති ජපන් යුවළක් හා ඔවුන්ගේ දියණිය හිරෝකෝ ය. නකසාවා මහතා මිනුම්දෝරු කණ්ඩායමක ප්‍රධානියා වශයෙන් චීනය විසින් යටත් කරගනු ලැබූ ජපන් දිස්ත්‍රික්කයක සේවයට ගොස් සිටී. ඔහුගේ බිරිඳ මසායි හා දියණිය ද එහි වෙසෙන අතර, චීන ජාතික සේවිකාවක ගෙදර වැඩපළ සඳහා පැමිණෙයි.

එක් උදෑසනක ඈතින් "ටාන් ටාන් ටන්ටක ටාන් – ටාන් ටාන් ටන්ටක ටාන්” යනුවෙන් බෙර හඬක් නැඟෙයි. මොහොතකට පසු මසායිට දක්නට ලැබෙන්නේ දෑත් පිටුපසට බැඳ පේළියට ගෙන යන චීන සිරකරුවන් පිරිසකි.

දූවිලි වැකි ශෝකි මුහුණින් යුත් සිරකරුවෝ බිම බලාගෙන ගමන් කරති.

"මේ ගොල්ලන්ට මොනවද කරන්න යන්නෙ?”

මසායි තම සැමියාගෙන් විමසයි.

"සමහරවිට වෙඩි තියයි. එහෙම නැත්තං බරපතළ වැඩ කරන්ඩ නියම කරයි.”

එතැන් සිට පාර පෙනෙන කවුළු නිතර වසා තැබීමට මසායි පෙලඹුණා යග යුද සිරකරුවන් පිළිබඳ මතකය ඈ සිත තුළ නිරන්තරව රළ නඟයි.

එක් දිනක්, මිනුම්දෝරු කණ්ඩායම් භාෂා පරිවර්තකයා (චීන බස උගත්, මහලු ජපන් ජාතිකයෙකි) නකසාවා නිවසට පැමිණෙයි. ඔහු යුද සිරකරුවකු පලායාමට කළ උත්සාහයක් ගැන කියයි.

"ඒකා හැංගිලා ඉඳලා තියෙන්නේ වහළයක් උඩ. අපේ හමුදාවේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලන්ට මිනිහව ඉව වැටුණේ නැත්තං අල්ලල ගොඩයි"

මසායිගේ දියණියට ද "ටාන් ටාන් ටන්ටක ටාන්” බෙර හඬ අසන්නට ලැබෙයි. "පෙරහරක් එනවා. උත්සව කාලේ පටන් අරන් වගේ” ඇය කෑ ගසමින් මිදුලට දුවයි.මසායි ද පසුපසින් යයි.ජපන් හමුදා නිලධාරියකු,කිමෝනෝවෙන් සැරසී සිටින මසායි දැක මඳසිනාවක් පායි. මසායි ද හිස මදක් පහත් කොට ඔහුට සමාචාර කරයි.

කුඩා හිරෝතේ ජර්මන් ෂෙපර්ඩ් බල්ලන් දැක උන්ට ඇසෙන සේ කෑ ගසයි. ඉන්පසු බෙර හඬට අනුව පාද තබමින් රැඟුමක යෙදෙන්නට වෙයි.

චීන යුද සිරකරුවෙක්, දැරියගේ රැඟුම දැක හිස හරවා බලමින් සිනාසෙයි. ඒ අනුව අනෙක් සිරකරුවෝ ද දැරියගේ රැඟුමට සිනාමුසු ප්‍රතිචාර දක්වතිග මරණයට හෝ බරපතළ වැඩට නියමවන මේ මිනිසුන්ගේ ශෝකි මුහුණු මසායි තුළ දැඩි සංතාපයක් ජනිත කරවයි.

මේරි යුකාරි මෙබඳු කුඩා සිදුවීම් එකමිතියකින් යුතුව තම කතාවට ඒකරාශි කර ගනී. මේ කතාවේ මැද දී ඇය තම දියණියට කාන්තාරය පිළිබඳ කියා දෙයි.

"කාන්තාරයේ තියෙන්නේ වැලි විතරයි. මිනිස්සු නෑ. මල් නෑ.”


"බත් නැද්ද? කිරි....?”

"නෑ”

"සෙල්ලම් බඩු?”

"නෑ නෑ...”

"ඇයි කාන්තාරෙට එහෙම වුණේ?”

කුඩා හිරෝකෝ කුහුලින් යුතුව අසයිග

"කාන්තාරේ තිබුණු බීජ සේරම නැතිවෙලා.ඒ නිසා පැළවෙන්න කිසිදෙයක් නෑ.”

කාන්තාරයට වැසි වැටෙන්නේ අවුරුදු කීපයකට වතාවක් ය. එවිට, කාන්තාර කුසුම් පිපෙයි.එහෙත් ඒ දින දෙක තුනකට ය. මිනිස් ඇහැකට හසු නොවීම ඒ සැම දැඩි හිරු රැසින් මැලව පරවී යයි.

කාන්තාරය වසරින් වසර විශාල වන බව මසායිගේ සැමියා පවසයි.තුරුලතා, තණපත් වනසමින්,කාන්තාරය සතුරු හමුදාවක් සේ පැතිරෙයි. මසායිගේ දෑසට සිහින් කඳුළක් නැඟෙයි.

යුද සිරකරුවන් හෝ කාන්තාර ව්‍යාප්තිය ගැන නොදන්නා කුඩා හිරෝකි යුද සිරකරු පෙරහරේ බෙර හඬට පා තබමින් හිස සලමින් රඟයි.

‘සැදැවේ නියාම’ නමැති කෙටි කතාවට තේමා වන්නේ ජීවිතයේ සැදැසමය ගත කරන මහලු කතකි.පන්සල් බිම 'කිජිසෝ’ නමින් හැඳින්වෙන ළමා බුදුවරුන්ගේ ප්‍රතිමා අතර සැරිසරන ඇයගේ මතක තුළින් ජීවිතය පිළිබඳ ශෝකි ස්වර මාලාවක් නංවන්නට මේරි යුකාරි සමත් වෙයි.ඉන් අප සිත් සසල වෙයි.

ඇගේ කතා තුළ ලොකු කතාන්දරයක් නැත, එහෙත් ජීවිතය පිළිබඳ අප නුදුටු එළිය බිඳක් ඇත.එය නැවත නැවතත් දකින්නට අප පෙලඹෙන්නේ මේරිගේ මානව දයාවේ ඇරැයුමෙනි,

ඇගේ ජපන්අධ්‍යාත්මය විසින් ,ඇගේ කෙටි කතාවට හයිකු කවියේ දර්ශනය හා රිද්මය මුසුකර ඇතැයි මට සිතේ.එහෙයින්ම මෙය කියවා නිම කළ නොහැකි පොතකි.එසේම හයිකු කවි පමණක් නොව හයිකු කතා ද ලිවිය හැකි බව මේරි යුකාරි අපට කියා දෙයි.

කපිල කුමාර කාලිංග

Read 378 times
Body
Background Color
Text Color
Background Image