Mirror Arts
Joomla Templates and Joomla Extensions by JoomVision.Com
Sunday, 09 June 2013 08:02

අයිරාංගනී සේරසිංහ ඔබට සුභ උපන්දිනයක්‌ !

Rate this item
(0 votes)
අයිරාංගනී සේරසිංහ ඔබට සුභ උපන්දිනයක්‌ !

අයිරාංගනී සේරසිංහ නමැති ශිල්පිනිය පිළිබඳව මාගේ මතකයේ රැඳෙන්නේ බාල වියේදීමය. ජුනි මස නව වැනි දින එතුමියගේ ජන්ම දිනය බැවින් එතුමිය පිළිබඳ මතකයන් රැසක්‌ අතීතය අවදි කරමින් මා හට මතක්‌ වන්නට වියග ගාමිණී ෆොන්සේකා රංගන ශිල්පියාගේ තද බල ප්‍රේක්‍ෂකයකු වූ මගේ පියාගේ අතේ එල්ලී ගොස්‌ චිත්‍රපට නැරඹූ යුගයක්‌ මට තිබිණි.

එම යුගයේදී සිනමාස්‌ සමාගමේ නිර්මාණයක්‌ වූ "ඔබ දුටු දා" නමැති චිත්‍රපටයෙන් මා මුලින්ම මෙතුමියගේ රඟපෑම් නැරඹුවෙමි.එහි ප්‍රධාන පෙම් යුවළ ලෙස රඟපෑ නළු නිළි යුවළ ගාමිණී, ජීවරාණි වූ අතර,සේරසිංහ මැතිනියගේ චරිතය වූයේ ගාමිණී ෆොන්සේකාගේ කුඩම්මාගේ චරිතයයි. කුඩම්මා සහ පුතු අතර නිරන්තර ගැටුමක්‌ හෙවත් හැල හැප්පීමක්‌ මුළු චිත්‍රපටය පුරාම විය. ප්‍රධාන කථානායකයාට වීරයාට විරුද්ධකම් කරන,කෙනෙහිලිකම් කරන චරිතයකට ප්‍රේක්‍ෂක අවධානය, ආකර්ෂණය හිමි වනුයේ ඉතාමත් කලාතුරකිනි.නමුත් මෙම කාන්තා චරිතය කුමන හේතුවක්‌ නිසා මගේ මනසට කා වැදුණා දැයි එදා මට කිසිසේත්ම තේරුම් ගැනීමට බැරි විය.රංගනය පිළිබඳ කවර ආකාරයක හෝ දැනීමක්‌ තියා හැඟීමක්‌වත් මට එකල නොවීය. තේරුම් ගැනීමේ උවමනාවක්‌ හෝ අවබෝධයක්‌ හෝ මට නොතිබිණි. නමුත් මෙම චරිතය පිළිබඳ නැරඹීමෙන් පසුව මම මගේ පියාගෙන් බොහෝ ප්‍රශ්න ඇසූ බව මට අදටත් මතකය.

පසු කලෙක මා අහම්බෙන් සිනමා නළුවකු වන අවස්‌ථාවේ ගැටවරයකු ලෙස ගාමිණී, ටෝනි, විජය, රොබින් වැන්නවුන් මගේ වීරවරයන් වූ අතර සන්ධ්‍යා කුමාරි,විජිත මල්ලිකා, මාලනී,ගීතා,ශ්‍රියානි වැනි අය මට සිනමා සුරූපියන් විය.මේ දෙවර්ගයම අතරේ මටත් නොදැනෙන පරිදි යම් ගෞරවාන්විත හැඟීමකින් මගේ මනසින් පුද සත්කාර ලැබූ යම් චරිත කිහිපයක්‌ විය. (ඔවුහු ක්‍රීඩා, කලා,සාහිත්‍යය වැනි ක්‍ෂේත්‍ර නියෝජනය කළෝය)

මොවුන් අතර අයිරාංගනී සේරසිංහ මැතිනිය ප්‍රධාන ස්‌ථානයක්‌ ඉසිලුවේය. මා සිනමාවට ප්‍රවිශ්ඨ වී මාගේ ජ්‍යෙෂ්ඨයන්ගෙන් ගුරු හරුකම් ලබා ගන්නා අවස්‌ථාවේදී,රංගනයේ සුවිශේෂ - සියුම් ස්‌ථාන පිළිබඳ උදාහරණ ගෙන ඒමේදී ඔවුහු සේරසිංහ මැතිනියගේ නම නිරන්තරව උදාහරණවලට ගත්තෝය.එතුමිය පිළිබඳ කතා කළෝය.

තමා රඟපෑ චරිත අතුරින්, සෑම චරිතයකටම සැලකිය යුතු සාධාරණත්වයක්‌, වටිනාකම් සහ යුතුකමක්‌ එකතු කළ ශිල්පිනියක්‌ ලෙස ඔවුහු ඇය අර්ථ දැක්‌වූ බව මට හොඳින්ම මතකය. ඒ පිළිබඳව සිනමාව හදාරා එහි බෙහෙවින් ඇසූ පිරූ තැන් ඇති විද්වතුන් පළ කර ඇති අදහස්‌ එමට බව අප සියල්ලෝම දන්නා කරුණකි.

අහම්බෙන් සිනමාවට ප්‍රවිශ්ඨ වී මා ක්‍රමයෙන් එහි රැඳෙමින් ගිය ගමනේදී,විටින් විට අලුත් ශිල්පීන්,නිර්මාණකරුවන් දැන හඳුනා ගත්තෙමි. මොවුහු ජ්‍යෙෂ්ඨයෝය. ඒ යන ගමනේ කුඩා කළ සිට මා ප්‍රිය කල මේ රංගන වේදිනිය හමු වීමේ ආශාවෙන් මඬනා සිත් ඇතිව මා කාලය ගෙවූ බව මෙහිලා සඳහන් කරනුයේ ඉතාමත් භක්‌තිමත්වය.මට ඇයව හමුවන්නේ "දෙවැනි ගමන"චිත්‍රපටයෙනි.එය මගේ සිනමා ජීවිතයේදී සිනමා ගමනේ ද දෙවැනි ගමන බව මා මීට පෙරත් කියා ඇත. දෙවැනි ගමන චිත්‍රපටයේ මාගේ මවගේ චරිතය නිරූපණය කිරීම පිණිස,එතුමිය දර්ශන තලයට පැමිණි දිනය මට අද මෙන් මතකය. එතුමිය රැගත් වාහනය උදේ රැයින්ම කොළඹින් පිටත්ව,අප දර්ශන ගතකළ, මහනුවර(දොඩන්විල ප්‍රදේශයේ) පිහිටි එක්‌තරා වලව්වක්‌ වෙත සේන්දු විය. ඒ වන විට අප උදෑසන දර්ශන ගැනීම්වලට ලක ලෑස්‌ති වී සිටියෙමු.අධ්‍යක්‍ෂ එච්. ඩී.ප්‍රේමරත්න,ජ්‍යෙෂ්ඨ කැමරා ශිල්පී සුමිත්ත අමරසිංහ වැනි ප්‍රවීනයන් එතුමිය පිළිගෙන එතුමියගේ පහසුකම් සැලසීමට නිෂ්පාදන අංශය වෙත පැවරීය.

මා දර්ශන ගැනීම් අතරතුරදී ඇය වෙත ගොස්‌, ඈත සිට එතුමිය දෙස බලා සිටියෙමි. (මා එලෙස ගඟ අද්දර චිත්‍රපටයේ වැඩ කළ අවස්‌ථාවේ ලෙස්‌ටර් මහතා දෙස නිරීක්‍ෂණය කළ අන්දම මීට ප්‍රථම ලියා ඇතග)එතුමිය චිත්‍රපටයේ තිර රචනය කියවමින් සිටි බැවින් මම බාධා නොකර පැමිණියෙමි.

දර්ශනයට ප්‍රථම මා ඇය වෙත ගොස්‌ මා හඳුන්වා දෙමින් "මැඩම්, මම තමයි මේ චිත්‍රපටයේ මැඩම්ගේ පුතාගේ චරිතය රඟපාන්නේ "යෑයි පැවසුවෙමි. එතුමිය ඉතාමත් ලෙන්ගතු කාරුණික සිනහවකින් සංග්‍රහ කර"අපි වැඩ කරලා නෑනේ,සතුටක්‌ මෙහෙම හමුවීම "යෑයි ඉතාමත් නිහතමානී ලෙස ප්‍රකාශ කළාය.

රංගනය පිළිබඳ විදේශීය අධ්‍යාපනයක්‌ පවා ලබා පරිණත වී සිටියත්, දර්ශන තලයේ එතුමිය හැසිරුණේ එය ඇයගේ පළමු චිත්‍රපටයේ තරම්ම කැපවීමක්‌ සහ උනන්දුවක්‌ ඇතිවය.ඒ උදාර යහගුණ අපට පමණක්‌ නොව තව පරම්පරා ගණනාවකට සුවිශේෂ වූ ආදර්ශ වේ.

මේ කියවන ඔබ දෙවැනි ගමන චිත්‍රපටය නැරඹුවේ නම්, මොහොතකට මෙම දර්ශනය නැවත මෙනෙහි කරන්න.

එහි මගේ චරිතය සමන් නමැති තරුණ ගණිත - විද්‍යා ගුරුවරයෙකි.ඔහු කලක්‌ පෙම් කළ පෙම්වතිය සමග යුග දිවියට එළැඹීමේදී ඇය කන්‍යාවක්‌ නොවන බව ඔප්පු වීමෙන් දෙවැනි ගමන ද විශාල කැළඹීමකි. නමුත් සමන් ඒ අවස්‌ථාවේ තම බිරිඳ වෙනුවෙන් පෙනී සිටී.එවිට සමන්ගේ මවගේ චරිතය රඟපෑ අයිරාංගනී මැතිනිය මේ අවස්‌ථාවේදී සමන් වෙත දොස්‌ පවරයි.නමුත් අන් අය නෑදෑ පිරිස්‌* කෑ ගසමින් හැසිරෙන අන්දමට මව හැසිරෙන්නේ නැත. ඇය වෙනම ම අන්දමකට සමන්ගෙන් ප්‍රශ්න කරයි. එය පහත සඳහන් ලෙස මා මතකයෙන්ම ලියමි.

සමන්ගේ මව (අයිරාංගනී මැතිනිය)ළඟට යන සමන්ගේ වැඩිමහල් සහෝදරයා (මෙම චරිතය රඟපෑවේ ප්‍රවීන ජ්‍යෙෂ්ඨ නළු රවීන්ද්‍ර රන්දෙණියය)

අයියා - අම්මලා නිකන් බොරුවට කෑ ගහන්න එපා. ඒවා සමන්ට ප්‍රශ්නයක්‌ නොවේ නම් ඕගොල්ලෝ ඇයි මෙහෙම දඟලන්නේ.

මව තම බාල පුතු ළඟට ගොස්‌.............. .......

මව - ආ..... මෝඩයෝ උඹට මේක ප්‍රශ්නයක්‌ නෙවීද?

සමන් - නෑ.... අම්මේ, මේක මට ප්‍රශ්නයක්‌ නොවේ.

මව - මො - න -වා මේක සිද්ධ වුණේ උඹෙන් නොවේ නම්,වෙච්ච විදිහක්‌ උඹ දන්නේ නැත්නම් මේක උඹට ප්‍රශ්නයක්‌ නෙවේ.........

සමන් - මං දැන් එක සැරයක්‌ කිව්වනේ අම්මේ.......

මව සමන්ගේ නැන්දණිය වූ (පියාගේ වැඩිමහල් සහෝදරිය)ලෙස රඟපෑ - දෙනවක හාමිනේ වෙත යයි.

මව - ආ අක්‌කේ මේක අපේ එකාට ප්‍රශ්නයක්‌ නොවෙයිලු කියන්නේ.....

නැන්දා - (දෙනවක මැතිනිය) හත්දෙයියනේ.... (මිදුලට පැන) ඔය රබන් ගැහිල්ල නතර කරපල්ලා,රබන් ගහන්න නෙවී පලන්නයි දැන් ඕන.
අයිරාංගනී මැතිනිය ,මොනවා, යන වචනය උච්චාරණය කළ අන්දම දැනට අවුරුදු 30 කට පමණ ප්‍රථම වුවත්, එය තවම මගේ දෙසවනේ රැඳ වී ඇත්තේ දැන් පැය කිහිපයකට ප්‍රථම සිදුවූ සිදුවීමක ඇසුව දෙබසක්‌ ලෙසටය.ඒ තරමටම එය තාත්විකය.හිතට කාවදින අන්දමට එතුමිය පැවසුවාය. මේ ගැන මා අදටත් එතුමිය දුටුවිට කතා කරමි.එතුමිය එවිට හඬනඟා සිනාසෙමින් කියන්නේ "මෙයාට තවම මේවා මතකයි කියාය.

එතුමියගේ දක්‍ෂතා,නිපුණතා ඇගයීම මට තරම් නොවේ ඇය වැනි කීර්තිමත්,ගෞරවාන්විත ශිල්පිනියක්‌ පිළිබඳව මෙවැනි සටහනක්‌ තැබීමට ලැබීමත් පෙර කළ කුසලයක්‌ ලෙස මා සලකමි.දෙවැනි ගමනට අමතරව සක්‌මන් මළුව,සුදු කළු සහ අළු, වෑකන්ද වලව්ව, කල්පාන්තයේ සිහිනය වැනි චිත්‍රපටවල මා ඇය සමග රඟපෑවෙමිග ඒ සෑම චරිතයක්‌ම ජීවත් කළේ එකම තැනැත්තියක්‌ දැයි විශ්වාස කිරීමට අසීරු අන්දමේ ,වෙනසක්‌, චරිතයෙන් චරිතයට ඇය විසින් දායක කර ඇත. දැනට තිරගත නොවුණු 'කල්පාන්තයේ සිහිනය' චිත්‍රපටයේ එතුමිය මගේ වැඩිමහල් සහෝදරිය වූවාය.එම පෙනුමට සරිලන අන්දමින් මම මගේ කොණ්‌ඩය සහ ශරීරය වෙනස්‌ කළෙමි. ඒ වෙනස දුටු එතුමිය "ඔයා ගොඩක්‌ වෙනස්‌ කරලා'යෑයි අවංකව මට සුබ පැතූ අයුරු අදටත් මැවී පෙනේ.

අදටත් එතුමියගේ කැමැත්ත වී ඇත්තේ වේදිකා නාට්‍යයක රඟපෑමය.එම පුහුණුවල ශ්‍රමය සහ කාලය කැප කිරීමට තරම් සුදුසු ජවයක්‌ තමා තුළ ඇති දැයි එතුමියගේ සිතේ මේ මොහොතේ ඇති වී ඇති ගැටලුවයි. නමුත් ත්‍රිවිධ රත්නයේ බලයෙන්, දෙවි පිහිටෙන්,නිදුක්‌ නිරෝගි සුවය සහ දීඝායු පතන ලක්‍ෂ සංඛ්‍යාත රසික පිරිසක්‌ එතුමිය වටා සිටිනා බව එතුමිය දන්නවාදැයි මා නොදනිමි.

පසුගිය පෙබරවාරි 17 වැනිදා පැවැති උත්සවයේදී එතුමිය වෙතින් මටද සම්මානයක්‌ ලබා ගැනීමේ පින පෑදී තිබිණි. මා මෙතෙක්‌ ලබා ගෙන ඇති සියලුම සම්මානවලට වඩා මෙම සම්මානය බරින් වැඩි බව මට දැනුණි. ඒ තම කලා දිවියට දැඩි ලෙස කැපවුණු, මෙන්ම අවංක වූ සුවිශේෂී දෑතකින් මෙය ලබා ගත් නිසාම නොවේ. මේ ශ්‍රේෂ්ඨ උත්තමාවිය තුළ ඇති කරුණා ගුණය, අහිංසකත්වය,නිහතමානිත්වය, මෘදු මොළොක්‌ බව සහ සිරියාවන්තකමේ බරද මෙම සම්මානය මත පතිතව ඇති නිසා යෑයි මට සිතේ.

ශ්‍රී ලාංකික ජාතියේ පිනට පහළ වූ අයිරාංගනී මැතිනියනි, ඔබ තුමියට සුබ උපන් දිනයක්‌!! 111111!!!!!!

සනත් ගුණතිලක.

Read 726 times Last modified on Sunday, 09 June 2013 11:22
Body
Background Color
Text Color
Background Image